ඉසුරු මුනි පෙම් යුවල සාලිය මාලාද?
ගිනිගත් ගිම්හානයේ සැඩ පරුෂ බව මකා දමමින් තිසා වැවේ දිය කඳ සිපගත් සුළඟ රන්මසු උයන දෙසට හමා ගියේය.
වැව් ඉවුරේ වූ රූස්ස ගසක් යට සිටි අශ්වයා නතර කර ගත් සාලිය කුමාරයා තිසා වැව දෙස බලාසිටියේ ආශාවෙනි. වැවෙන් ඔබ්බෙන් පෙනෙන කඳුයායේ සොඳුරු දසුන හිරු හැඟෙන හැන්දෑවට එක් කළේ අලංකාරයකි.
අශ්වයා යන්නට දැඟලුවේය. හැමදාමත් හැන්දෑවට සිය සුරතල් අසු පිටට නගින සාලිය කුමාරයා තිසා වැවේ බැම්ම දිගේ ගොස් රන්මසු උයන හරහා මහමෙව්නාව පුරා යන්නේය.
යමු යමු උඔටනේ පුදුම හදිස්සියක් තියෙන්නේ...
අසුගේ හිස අතගෑ සාලිය කුමාරයා සෑඳලය බුරුල් කළේය.
වැව් බැම්මෙන් පහළට දිවගිය ඌ රන්මසු උයනට ඇතුලු වූවේය.
අනුරාධපුරය රාජධානිය කරගත් රජවරුන්ගේ මඟුල් උයන වූ රන්මසු උයන ඉසුරුමුනිය තිසා වැව මිරිසවැටිය සීමා කරගෙන අක්කර හතළිහක් තරම් භූමි භාගයක පැතිර පැවතියේය.
තිසා වැවේ එක් සොරොව්වකින් ලබාගන්නා ජලය මගින් ගඩොලින් සාදන ලද ඇල මාර්ගයක් ඔස්සේ රන්මසු උයනේ පොකුණු පිරවිණි. එහි පියුම් පිපී අලංකෘත වූ ඒ පොකුණු වල රන්වන් පැහැගත් මත්සයෝ ජීවත් වූහ. උන් සමඟ මොහොතක් කෙලි දෙලෙන් ගත කිරීමට සාලිය කුමාරයා අමතක කරන්නේ නැත. අශ්වයා පිටෙන් බැසගත් සාලිය කුමාරයා ගලින් බඳින ලද පඩිපෙල බැස පොකුණු අසලට ගියේය.
අත වූ කිසියම් විළඳ වගයක් පොකුණට දැමූ විගසම රන්මස්සෝ එකිනෙකා පෙරලාගෙන පොකුණ අද්දරට ආහ.
කුමුරුන් වටකරගත් උන් උඩපනිමින් සතුට ප්‍රකාශ කළෝය. කුමාරයා ඇතැම් මස්සෙක් අත ගෑවේය. උන් ඒ තරමටම කුමරුන් හා මිතුරුය.
සන්ධ්‍යාව බැවින් පෙති එකිනෙක හකුලා ගන්නා පියුම් විලේ සොඳුරු බව අඩු කළද, රන්මස්සන්ගේ දැඟලිලි නිසා වෙනස් සෞන්දර්යක් බිහි විය.
එවර සුළඟ හැමුයේ තරමක් වේගයෙනි. ඉන් පොකුණේ ජල තරංග නැගී ඉවුර අද්දරටම විත් බිඳී ගියේය. උඩ පනින්නට වූ මසුන් නිසාද පොකුණු පුරාම ජල තරඟ නැගුණි.
අශ්වයා කෑ ගැසුවේය. ඒ සාලිය කුමරුන්ට පැමිණෙන්නට කළ ඉල්ලීමකි.
මෙයාටනේ හදිස්සිය කී කුමරු අසු වෙත ගොස් පිටට නැග්ගේය.
අසු දිවගියේ අශෝක මල් වනයටය. උයනේ නැගෙනහිර දිසාවේ අශෝක මල් වනය පිහිටියේය. එනිසාම සෙවණින් බර වූ උයන පුරා මිහිරි සුවඳක්ද පැතිරිණ සුළගේ ගීතය මැඩ ගෙන මතු වූයේ මිහිරි ගී රාවයකි. එතුලින් කුමරුන්ගේ සවනට වැටුණේ යුවතියකගේ කටහඬකි.
කව්ද ඒ?
කුමරු තමන්ගෙන්ම අසාගත්තේය. රාජකීයන්ගේ මඟුල් උයන බැවින් රන්මසු උයනට බාහිරින් කිසිවෙක් පැමිණෙන්නේ නැත. එසේනම් මේ කිසියම් රජකුමරියක විය යුතුය. එහෙත් මේ තරම් කන්කළු හඬින් ගී ගයන්නට සමත් රජකුමරියක ගැන සාලිය කුමාරයා දැන සිටියේ නැත.
ගී හඬ ළඟින්ම ඇසිණි. අසු දිවගියේ එතැනටය.
ගී හඬ ඇසුණේ අශෝක ගසකිනි. එහෙත් එක්වරම ගී හඬ නතර විණි. සාලිය කුමරු ගස දෙස බලන විට දකින්නට ලැබුණේ සුරූපී යුවතියකි. බය බිරාන්තව සිටි ඇය සාලිය කුමරු දෙස බලාසිටියාය.
ඔබ කවුද?
කුමරුන් ඇසුවේය.
වහා ගසින් බිමට බැසගත් යුවතිය දෝතින්ම ලය මඩල වසාගත්තාය. ඇය උඩුකය ආවරණය කරගෙන සිටියේ නැත.
ඇගේ මුහුණ දෙස බැලුවිට කුමරාට පෙනුණේ මිහිතලයට පා තැබූ දෙවඟනක කියාය.
එහෙත් මේ සන්ධ්‍යා සමයේ දෙවඟනත් එන්නේ නැත. ඔවුන් එන්නේ මැදියම් රාත්‍රියේදීය.
ඔබ කවුද?
කුමරු යළි ඇසුවේය.
යුවතිය කුමරුන් පාමුල දණින් වැටුණාය.
සමාවෙන්න කුමරුනි! මම යාබද ගම්මානයේ ගම්පාලකගේ දුව ඉසුරුමුණි චෛත්‍ය වන්දනාව පිණිස මල් නෙලාගැනීමටයි අශෝක උයනට පිවිසුණේ.
යුවතිය ගැහෙන දෙතොලින් පැවසුවාය.
කෝ ඔබේ උඩුකය වස්ත්‍රය.
දෝතින් ලය මඬල වසාගෙන අපහසුවෙන් ඉන්නා යුවතියගෙන් කුමරු ඇසුවේය.
අප සැඩොල් කුලයේ බැවින් උඩුකයට ඇඳීම තහනම් කුමරුනි.
ඔබ කර ඇත්තේ වරදක්. රජුන්ගේ මඟුල් උයනට ඇතුළුවීමට ඔබට අවසර නැහැ.
කුමරු කීවේය.
එහෙමයි.
යුවතිය කීවාය. මට යන්ට අවසර දෙන්ට කුමරුනි. මෙලහටත් මගේ පියා මා සොයනවා ඇති.
නොහැකියි ඔබට දඬුවම් දීමට සිදුවෙනවා.
අනේ කුමරුනි මට අනුකම්පා කරන්න. යුවතිය කීවේ කඳුළු පෙරමිනි.
හොඳයි අද යන්න නමුත් හෙට මේ වෙලාවටම ඔබ මෙතනට ආ යුතුයි. ඔබට දඬුවම් දීම මා හෙටට ප්‍රමාද කරනවා.
එහෙමයි.
යුවතිය කීවාය.
ඔබේ නම
කුමරු ඇසුවේය.
අශෝක මාලා
හ්ම්...
යුවතිය දිවගියාය. එහෙත් කුමරුන්ට යන්නට සිතුණේ නැත. අශෝකමාලාගේ රුව ඔහු උමතු කර තිබිණි.
මට මෙතෙක් කලකට කිසිම කාන්තවක ගැන මෙබඳු ආශාවක් පහළ වී නැහැ.
කුමරු කීවේ අශ්වයාටය.
මෙයද ප්‍රේමය?
මෙයද ප්‍රේමය?
පසුදා සන්ධ්‍යාවේ කුමරු අශෝක ගස් සෙවණට ගොස් සැඟවුණේය. ඔහුට අවශ්‍යවූයේ. අශෝකමාලාගේ සිරුර වඩාත් හොඳින් දැකගැනීමටය. කියූ පරිදිම ඇය එනු පෙනිණි. වටපිට බලමින් එහෙත් දෑතින් ලය මඩල වසාගෙන ආ ඇය අසු ළඟට ගියාය.
කුමරුනි ඇය කීවේ වටපිට බලමිනි.
වහාම ඇය වෙත ආ කුමරු ඇය දෙස බැලුවේ රෞද්‍ර බැල්මකිනි.
දඬුවම් විඳීමට සූදානම් වන්න. ඇස් පියාගන්න.
යුවතිය වහා දෑස පියාගත්තාය.
අත් පහලට ගන්න.
කුමරු කීවත් යුවතිය ඊට පැකිලුණි.
වහාම කුමරුන්ට ඇගේ රූසිරි බලාසිටීමට නොහැකි විය. ඔහුට සිතුණේම තවත් පමා නොකර සිය ප්‍රේමය ඇය හමුවේ පවසන්නටය.
කුමරු ඇගේ නලලත තම දෙතොල තැබුවේ ආදරයෙනි.
මින්මතු හැම සවසකම ඔබ මා හමුවීමට පැමිණිය යුතුයි. එය තමා ඔබට දෙන දඬුවම.
එදා එලෙසින් සාලිය අශෝක මාලාවන්ගේ ප්‍රේමයට අත්පොත් තැබූ රන්මසු උයන අනුරාධපුර රාජාධානිය පැවති කාලය පුරාවටම මඟුල් උයනක්ව පැවතිණ.
පසුව පැමිණි රජවරුද තම බිසෝවරුන් සමඟ මේ මගුල් උයනේ සැරිසැරූහ. දිය ස්නානය කළහ. සන්ධ්‍යාවේ ඇවිදිමින් උයනේ සිරි වින්දාහ.
තව තවත් අලුත් අලුත් අංගද ගොඩනගමින් උයනේ සිරිය අසිරිමත් කළහ.
මොනතරම් ඉඩෝරයකදී වුවත් රන්මසු උයනේ හැමදාමත් වසන්තය නොවෙනස්වී තිබිණි. තිසා වැවෙන් එන වතුරින් රන්මසු උයනේ පොකුණු පිරී ගියේය. රන් මස්සෝ සතුටින් ඔබ මොබ පිහිනූහ.
ඕලු නෙළුම් මානෙල් ආදී පස් පියුම් විකසිත විය.
අශෝක වනයේ අශෝක මල් ද පිපුණි... බමරු රොන් සොයා ආහ. මී මැස්සෝ රොන් ගෙන ගොස් වද බැඳගත්හ.
රන්මසු උයනේ ඒ වසන්තය විඳින්නට රජ කුමර කුමරියෝ හැමදාමත් එන්නට ඇත. එහෙත් රාජධානිය පොලොන්නරුවට මාරුවෙද්දී අනුරාධපුරය විනාශ විය. ගස් එක දෙක වැඩී අන්තිමේ රූස්ස ගසින් පිරුණු ඝන වනාන්තර බවට පත්විය. අලි ඇතුන් කොටි වළසුන්ගේ නිජභූමි බවට පත්වූ අනුරාපුරයේ රන්මසු උයන අතුරුදන් විය.
වන වැදුණු පුරාවිද්‍යා උරුමයන් යළි ඉස්මතු කෙරුණේ 1901 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමත් සමඟය. පළමුවැනි පුරාවිද්‍යා අධ්‍යක්ෂ වූයේ එච්.සී.පී. බෙල්ය.
1940 දී පමණ පුරා විද්‍යා අධිකාරීව සිටි සෙනරත් පරණවිතානට හතරවැනි මිහිඳු රජු ලියැවූ සෙල්ලිපියක් කියවන්නට ලැබිණි.
එහි සඳහන් තොරතුරු අනුව රන්මසු උයන පිහිටි තැන් සොයා ගැනුණු අතරේ පසුව කළ කැණීම් වලින් එහි වූ පොකුණු ආදිය මතුකර ගෙන පිළිසකර කිරීම් කෙරිණි.
එදා ජීවත් වූ ගල් වඩුවාගේ හපන්කම් මොනතරම් දැයි තේරුම් ගත හැකි වූයේ ඒ පොකුණු ආදිය පිළිසකර කරද්දීය. අලි ඇතුන් දිය නාන කැටයම් වලින් පිරුණු නාන පොකුණු සිංහල රජසමයේදී මඟුල් උයනට මොනතරම් අසිරියත් එක්කරන්නට ඇද්ද?
පෙම් යුවලගේ ගල් කැටයම හමුවන්නේද රන්මසු උයනෙනි... ඒ පෙම් යුවළ සාලිය අශෝක මාලා විය යුතුයැයි බොහෝ විද්වත්හු තර්ක කරති.
එහෙත් එහි නමක් ගමක් ලියා නැති බැවින් එය නිර්මාණය කළෝ කුමක් පිණිස නිර්මාණය කළාදැයි අදටත් රහසකි.
එය සාලිය අශෝකමාලාගේ නම් පසුව පැමිණි රජවරුන් ඒ පෙම් පුවතට වටිනාකමක් දුන් බව පැහැදිලිය.
ඒ පෙම් පුවත රන්මසු උයනේ අනන්‍යතාවය සේ සලකන්නට ඇත.
හැබැයි ඒ පෙම් යුවළ අද සිටින්නේ ඉසුරුමුනියේය. එනිසා වඩාත් ප්‍රසිද්ධ ඉසුරුමුනි පෙම් යුවල ලෙස මිස සාලිය අශෝකමාලා ලෙස නම් නොවේ.
මේ නිසාම අද රන්මසු උයන එතරම් සංචාරක ආකර්ශනයට ලක්වන්නේ නැත. වන්දනාවේ එන නඩ ඉසුරුමුනියට ආවත් තිසා වැවට ගියත් අල්ලපු වැටේ පිහිටි රන්මසු උයනට පා තබන්නේ නැත.
ඊළඟ වතාවේ අනුරපුර වන්දනාවට එකතුවන ඔබෙන් රන්මසු උයන බලන්නට එන්නැයි ඉල්ලීමක් කරමී. ඒ ගමනේදී ඔබට ප්‍රේමයද සැබෑ පෙම්වතුන්ද හමුවේ රජකම පෙනී පෙනී තිබෙද්දීත් ඒ රජ කිරුළට පයින් ගසා ප්‍රේමයේ කිරුළ හිස මත පැළඳගත් සාලිය කුමාරයා සැබෑ පෙම්වතෙක් නොවේද? ඊටත් වඩා සැඩොලියකට පෙම් කර රජ පවුලෙන් නෙරපීමට ලක්ව දුක්බර ජීවිතයක් උරුම කර ගත් පෙම්වතෙක් අපේ ඉතිහාසයේ තවත් හමුවන්නේ නැත.
ප්‍රේමයෙන් උමතු වූ විට පෙම්වතුන් මොනතරම් මෝඩකම් කරන්නේදැයි නොසිතා ප්‍රේමයෙන් බැඳුණු විට ජීවිතයම ප්‍රේමය නොවන්නේදැයි සිතන්නැයි මම ඔබෙන් ඉල්ලමි.
ශාන්ත කුමාර විතාන