ඉපැරණි වූ දුම්රිය ස්ථානය
බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. කාලයාගේ ඇවෑමෙන් විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක්වුණු මෙම දුම්රිය ස්ථානයේ ඉපැරණි අලංකාරය අහිමි වී ගොස් තිබිණ. එනමුත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ඉපැරණි ගෘහ නිර්මාණ ආකෘතිය නැවත මතු කිරීමට එහි කාර්යමණ්ඩලය පසුගිය දිනවල කටයුතු කර තිබේ. මේ ඒ පිළිබඳව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ජී. ප්‍රියන්ත ද සිල්වා මහතා අප සමග පැවසූ අදහස්ය.
ශීත දේශගුණික පරිසරය අත්විඳ ගැනීමට බණ්ඩාරවෙල, ඇල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණෙන බව අපි දන්නෙමු. බොහෝවිට මෙම ප්‍රදේශවලට සංචාරකයන් පැමිණෙන්නේ දුම්රියෙනි. මන්ද උඩරට දුම්රිය මාර්ගය එතරම් රමණීය බැවිනි. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ඉපැරණි අලංකාරය නැවත ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ, සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමේ අරමුණින් බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා අප හා පවසා සිටියේ.
“බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කර තිබෙන්නේ කළුගල් භාවිතයෙන්, %වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය^ට අනුවයි. උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගය කියන්නේ සංචාරක ආකර්ෂණය එදත්, අදත් එක ලෙසින්ම පවතින මාර්ගයක්. වික්ටෝරියානු ගෘහ නිර්මාණ ආකෘතිය ඉතා විශිෂ්ටයි සහ අලංකාරයි. සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමේ අරමුණින් තමයි අපි ප්‍රධාන වශයෙන් මේ කාර්යය සිදුකළේ.
දැනට වසර හතළිහකට පමණ පෙර සිමෙන්ති ස්ථර, තීන්ත ආලේප කරමින් මෙහි තිබුණු මුල් ගෘහ නිර්මාණ ශිල්පය වසා දමා තිබෙනවා. කාලයක් පුරාවටම තීන්ත තට්ටුවලින් දුම්රිය ස්ථානයේ බිත්ති වැහිලා තිබුණා. ඒවා ඉවත් කරලා මුල් පෙනුම නැවත ගෙනෙමු කියන මතයේ අපි හිටියා. නමුත් ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒක කරන්න බැහැ කියන අදහස තමයි බොහෝ දෙනා තුළ තිබුණේ. නමුත් අපි උත්සාහ කරමු කියන තැනට ඇවිත් ඒ වැඩේ කළා.”
1894දී බ්‍රිතාන්‍යයන් විසින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිකරන ලදී. සම්පූර්ණ වශයෙන්ම කළුගල් භාවිත කළ ගොඩනැගිල්ලක් ලෙස එකල බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිවිය.
“බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ඇතුල් පැත්තෙන් තමයි නගරයට, සංචාරකයන්ට අලංකාර පෙනුම තිබෙන්නේ. කළුගල් බිත්තියේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ දුම්රිය ස්ථානයේ ඇතුල් පැත්තේ. ඉදිරිපස තිබෙන කොටස එතරම් විශාල ප්‍රමාණයක් නෙවෙයි. අපිට තව අලංකරණ වැඩ කිහිපයක් සිදුකරන්නට තිබෙනවා. ඉතින් මේ අලංකාරයෙන් නගරයටත් නව පෙනුමක් ගෙන එනවා.”
පසුගිය වසරවලදී කඩාවැටුණු ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැගීමට මෙම කාර්යයද යම් ආකාරයකට පිටිවහලක් වේවි යැයි ස්ථානාධිපති ප්‍රියන්ත මහතා පවසයි.
“සංචාරක කර්මාන්තය හොඳටම තිබුණු කාලෙදි සාමාන්‍යයෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට දෛනිකව විදේශීය සංචාරකයන් සියයකට අධික ප්‍රමාණයක් පැමිණියා. මොකද ප්‍රධාන සංචාරක හෝටල් දෙකක් මෙහි තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන දේශගුණය විඳ ගැනීමට සංචාරකයන් එනවා. නමුත් පාස්කු ප්‍රහාරය සහ ඉන්පසුව පැමිණි කෝවිඩ් වසංගතය නිසා විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යම් මට්ටමකින් අඩු වුණා. නැවත සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වුණොත්, ඊට වඩා සංචාරකයන්ගේ පැමිණීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ මේ වෙනසත් උපයෝගී වෙයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. දැනටමත් දෙස් විදෙස් සංචාරක ප්‍රතිචාරය මේ නව වෙනසට ලැබෙනවා. මේ පැරණි වික්ටෝරියානු ගෘහ නිර්මාණ ආකෘතියට බොහෝ දෙනෙක් කැමතියි. වික්ටෝරියානු ගෘහ නිර්මාණ ආකෘතිය නුවරඑළියේ තිබෙන බොහෝ ගොඩනැගිලිවල දක්නට ලැබෙනවා. හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල යන දුම්රිය ස්ථානවල කළුගල් බිත්ති සහිත වික්ටෝරියානු ගෘහ නිර්මාණ ආකෘතිය දක්නට ලැබෙනවා. දියතලාව දුම්රිය ස්ථානයේ නම් ඉස්සර ඉඳලාම කළු ගල් බිත්ති දැකගන්නට ලැබුණා.”
වසර සියයකට වඩා පැරණි මෙම කළුගල් බිත්තිවල ඇති ශක්තිමත්භාවය පිළිබඳව අප විමසූ විට ප්‍රියන්ත මහතා එයට මෙලෙස පිළිතුරු ලබාදුනි.
“මේ කළුගල් බිත්ති ඉතාමත් ශක්තිමත්. මේ බිත්තිවලට වසර එකසිය විසිඅටක් පමණ වෙනවනේ. ඒත් ශක්තියෙන් තවමත් ඉහළයි. ඒකට හොඳම උදාහරණය තමයි 2014 වසරේදී පැමිණි නාය යෑම. ඒ වසරේ අවසාන කාලයේදී නාය යෑම නිසා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ගය විශාල පස් කන්දකින් යට වුණා. ඒ යට වීමත් එක්ක දුම්රිය ස්ථානයේ කළුගල් බිත්තිය දක්වාම පස් සහ ගල් තල්ලු වෙලා ආවා. නමුත් එයින් බිත්තියට කිසිම හානියක් වුණේ නැහැ. මම හිතන්නේ වර්තමානයේ ගොඩනැගිල්ලක් නම් එතරම් ශක්තියක් නැහැ. තව කාලයක් යනතුරු ඒ ශක්තිමත්භාවය නැති වෙන්නේ නම් නැහැ.”
සිමෙන්ති තට්ටු කඩමින් ඉන් ඇතුළත තිබෙන කළුගල්වලටද හානි නොවෙමින් කළුගල් බිත්ති මතු කර ගැනීම ඉතා අපහසු කටයුත්තකි. එමෙන්ම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දෛනික කටයුතු අතරදීම මෙය සිදු කළ යුතුව ඇත. ඔහු ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
“මේක නිම කරන්න මාස තුනක් පමණ කාලයක් ගත වුණා. විදුලි ඇනහිටීම් සිදුවුණු නිසා තමයි මේකට වැඩි කාලයක් ගත වුණේ. නැතිනම් මාස දෙකකින් වගේ නිම කරන්න හැකි වෙනවා. අනික අපේ කාර්යමණ්ඩලය විසින්ම තමයි එකතු වෙලා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කළේ. අපි අපේ දෛනික රාජකාරිය කරන අතරතුරම තමයි මේක කළෙත්. දුම්රියක් එන්න පැය බාගයකට කලින් අපි මේ කටයුත්ත නවත්වනවා. ඊට පස්සේ අපේ රාජකාරී ඇඳුම ඇඳගන්නවා. ආයෙත් ඉඩ ලැබෙන වෙලාවට සිමෙන්ති ස්ථර ගලවනවා. අපි කළුගල්වල තිබෙන සිමෙන්ති තට්ටු ගලවන්න භාවිත කළේ සිල්පර ඇණ. මොකද කළුගල්වලට හානි නොවෙන්න බොහොම ප්‍රවේසමෙන් ඒක සිදුකරන්න ඕනේ.”
සිය සේවකයන් සමග දෛනික සාමාන්‍ය රාජකාරී මැද මෙම කාර්යය සිදු කළ බව ස්ථානාධිපතිතුමන් අප සමග පැවසීය.
“ශ්‍රේණි රාජකාරී මට්ටමෙන් පරිබාහිරව සියලුදෙනාම මේ කාර්යයට එක ලෙසම සහය දැක්වුවා. ශ්‍රමය වගේම මූල්‍යමය අවශ්‍යතාවන්වලදී පවා කාර්යමණ්ඩලය තමන්ගේ පෞද්ගලික මුදලුත් මේ සඳහා යෙදවූ අවස්ථා තිබෙනවා. ඇත්තටම ලොකු පිරිවැයක් ගියෙත් නැහැ. ඒ සියල්ලටම එකාවන්ව කාර්යමණ්ඩලයේ සියලුදෙනා දායකත්වය දැක්වූවා. එයාලා නොසිටින්න මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ඔවුන් සියලුදෙනාටම ස්තූතිවන්ත වනවා.”
කැළුම් දේවින්ද