සිම්පල් සිරි
ඊයේ අහන්න ලැබුණු පුවතකින් කියවුණේ මහාචාර්ය සිරි ගුණසිංහ මියගියා කියලා. කාලයක් තිස්සේ විදේශයක ජීවත්වුණු සිරි ගුණසිංහ අපේ රටේ ඉඳපු පිරුණු බුද්ධිමතෙක්. අවුරුදු 92ක් ජීවත්වුණු සිරි ගුණසිංහ ඒ ජීවිත කාලෙට මතක හිටිව වැඩ ටිකක් කරපු වියතෙක්. තවත් වසර ගණනාවක් ඒ නම පවතීවි. ජීවත්වෙලා ඉන්නකොට කතා නොකරපු සිරි ගුණසිංහ ගැන අනාගතයේ බොහෝදෙනා බොහෝ දේ කතා කරාවි.
සිරි ගුණසිංහ මියගියා කියන ප්‍රවාත්තිය අහන්න ලැබුණු ගමන් මට පහුගිය සිද්ධි කීපයක් මතක් වුණා. පහුගිය කාලේ කීපවතාවක් මහාචාර්යතුමා ලංකාවට ඇවිත් ගියා.
ඒ ආපු අවස්ථා කීපයකදී මට ඉඩ ලැබුණා ගුණසිංහයන් ඇසුරු කරන්න.එයින් මුල්ම අවස්ථාවේ මම ඔහුව මුණ ගැහෙන්න ගියේ මම ඒ වෙනකොට වැඩ කරපු 'ඉරුදින' පත්තරේට ඉන්ටර්වීව් එකක් කරන්න. මහාචාර්යතුමාගේ තිබුණු නිහතමානීකම මට ඒ පළමු අවස්ථාවෙන්ම අඳුනගන්න ලැබුණා. එහෙම කියන්නේ යන්තං ආචාර්ය මහාචාර්ය පට්ටං ගත්තු සමහරුන්ගේ චර්යාවන් අපිට අත්දකින්න ලැබිලා තියෙන නිසා.
ඊට පස්සෙත් ගුණසිංහයන් ලංකාවට ඇවිත් ගියපු අවස්ථා කීපයේදීම මම ඔහුව මුණගැහෙන්න අමතක කළේ නෑ. දින කීපයකට ආවත් ඔහුත් එක්ක කතාබහ කරන්න වෙලාවක් ඉල්ලුවම කිසිම පැකිලීමක් නැතිව ඒක ලබාදුන්නා. තරමක් කාර්යබහුල වුණත් පැය කීපයක් නොයෙක් මාතෘකා ගැන කතාබහ කරන්න ඔහු රුචියක් දැක්වූවා. ලංකාවේ නොහිටියත් ලංකාවේ සිදුවුණු බොහෝ දේ ගැන මහාචාර්යතුමා හොඳට අප්ඩේට් වෙලා තිබුණා. වයස් පරතරය වගේ ඒවා බාධාවක් කරගන්නේ නැතුව අපිත් එක්ක විවිධ මාතෘකා ගැන කතා කළේ හැබෑම ගුරුවරයෙක් වගේ. ලෝකයේ වෙච්ච පුංචි පුංචි සිදුවීම් ගැන ගුණසිංහයන් කදිම විග්‍රහයක් ඉදිරිපත් කරපු හැටි මට මතකයි. කොච්චර බහුශ්‍රැතයෙක් වුණත් ඔහු ඒ තරමට සංකිර්ණ චරිතයක් වෙන්න උත්සාහ කළේ නෑ. මම නම් ඔහු දැක්කේ හරිම සරල චරිතයක් විදියට. ඔහු උගත්කමෙන්, බුද්ධිමත්කමින් පිරුණු මිනිහෙක් නිසාම තමයි ඒ තරම් සරල මිනිහෙක් වෙන්න පුළුවන් වුණේ.
අපේ රටේදී සිරි ගුණසිංහයන්ගෙ කෙරුවාව හරි ඇගයීමට ලක්වුණේ නෑ. ඔහුට ඒ ගැනනම් වගේ වගක් තිබුණෙත් නෑ. ඒ ගැන ඇහුවම ඔහු කිව්වේ පුළුවන් දේවල් කළා ඒ ඇති කියලා. දැන් ඉන්න ආචාර්ය, මහාචාර්යවරු සම්මානවලටත් බැණ අඬගහගන්න හැටියට සිරි ගුණසිංහලා ගැන පුදුමත් හිතෙනවා.
සිරි ගුණසිංහලගේ පරම්පරාවේ ඉඳපු අවසාන බුද්ධිමතුන් කීපදෙනෙක් මේ විදියට ජීවිතයෙන් සමුගැනීම ඉතා කනගාටුදායකයි. මර්වින් සිල්වලත් ආචාර්ය පට්ටං ගත්තු රටක පය ගහල ඉන්නෙ නැතුව වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න සිරිගුණසිංහලා තීරණය කිරීම පුදුමත් නෑ.
දැන් විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය, මහාචාර්යවරුන්ට ආදර්ශයට ගන්න ඉතාම කදිම චරිතයක් තමයි සිරි ගුණසිංහ. බොරු බයිලාවලින් වැජඹෙමින් පුටු රත්කරන ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් ඉන්න අපේ විශ්වවිද්‍යාලවලට සිරි ගුණසිංහලා වර්ගයේ මහා බුද්ධිමතුන් අද වැඩි වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙනවා.
සිරි ගුණසිංහ කරපු වැඩ ගැන මේ දවස් දෙක තුනේ නම් පත්තරවල ලිපියක් දෙකක් පළවෙයි. ෆේස්බුක් එකේනම් පුංචි සටහනක් වැටෙයි. ඒත් අපේ රට බිහිකරපු එවැනි උගතෙක් ගැන මීට වඩා සංවාදයක් අවශ්‍යයි. ඒක ජීවත්වුණු සිරි ගුණසිංහට නැතත් මියගිය සිරි ගුණසිංහට හෝ ලැබේවිද කියලා කියන්න බෑ. අපේ විශ්වවිද්‍යාලවල ඉන්න උනන්දුවක් තියෙන ආචාර්ය මහාචාර්යවරුන් මේකට මුල්වෙනව නම් හොඳයි.
කෙසේ වෙතත් සිරි ගුණසිංහ වැනි උගතෙක් එක්ක අවස්ථා කීපයකදී දැනුම බෙදාගන්න අපිට ලැබුණු ඉඩකඩ අපේ ජීවිතයේ වටිනාම දෙයක් හැටියට අමතක කරන්න බැහැ. ඒ සියල්ලටම ගෞරව කරමින් සිරි ගුණසිංහයන්ට හිස නමනවා.
ප්‍රියන්ත කොඩිප්පිලි