වැලළෙමුද? ගොඩඑමුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල ආපහු අපේ සිනමාවේ තියෙන ප්‍රශ්න ටික ගැන පොඩිපොඩි සංවාද තැන තැන කෙරෙන බව පේනවා. ඒක කර්මාන්තයේ සක්‍රියව වැඩ කරන අය අතරෙ වගේම රටේ දේශපාලන නායකත්වයත් එක්කත් මේ සාකච්ඡා පැවැත්වුණු බව දැනගන්න හම්බ වුණා. ඒ ඇතැම් සාකච්ඡාවලට අපිටත් ඇරයුම් ලැබුණා. පුළුවන් ඒවට අපිත් සම්බන්ධ වුණා.

මේ සංවාද, සාකච්ඡා කොයිතරම් කළත් ආණ්ඩුව පැත්තෙන් ඍජු සහ ඉක්මන් මැදිහත්වීමක් නැතුව මේ ප්‍රශ්න ටිකට ස්ථිර විසඳුම් හොයන එක ටිකක් අමාරුයි. මොකද සිනමා කර්මාන්තය රජයත් එක්ක ගැටගැහෙන තැනක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම රජයේ පැත්තෙන් ගැලවිලා පුද්ගලික අංශය පැත්තට ආවොත් මේකෙන් මොකක් වේවිද කියලා හිතාගන්න බෑ. සමහරවිට හොඳ අතට කැරකෙන්නත් බැරි නෑ.

20160830Sara-1කොහොම වුණත් දැනට තියෙන තත්ත්වය නම් ඉතාම භයානකයි. මේ විදියට මේ ප්‍රශ්න ටිකට විසඳුම් නැතුව වැඩේ ඇදුනොත් සිනමාවටත් ස්වීප් එක ඇදෙන්න බැරි නෑ. සිනමාවට සම්බන්ධ කලාකරුවො පිරිසක් මීට දවස් කීපයකට කලින් ජනාධිපතිතුමා මුණගැහිලා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කළාලු. මේ වගේම සාකච්ඡා සැසි ගණනාවක් පසුගිය ආණ්ඩුව කාලෙ මහින්ද රාජපක්ෂත් එක්කත් මේ කලාකරුවොම කළා. ඒත් රාජපක්ෂ ආණ්ඩුව මේ ප්‍රශ්නය ඇදගෙන ආවා මිසක් හරි විසඳුමක් දුන්නේ නෑ. සිනමාව ඩිජිටල් කරනවා කිය කිය ඉඳපු රාජපක්ෂ ආණ්ඩුව ඒවට මුදල් වියදම් කිරීම කෙසේ වෙතත් අයිෆා සම්මාන උලෙළ වගේ රටට දිරවගන්න බැරි වැඩවලට නම් හොඳට වියදම් කළා.

තාරුණ්‍යයට හෙටක් කියලා ලංකාවේ තරුණ කලාකරුවොත් වටේ තියාගෙන ඉඳපු රාජපක්ෂ ළමයි පවා අපේ රටේ කලාකරුවන්ට තුට්ටු දෙකක් ලැබෙන වැඩ වෙනුවට කළේ සල්මන් ඛාන්ලා ගෙන්නලා බොරු ජෝගි දාන එක.  හැබැයි රාජපක්ෂලා ළඟින්ම ඉඳපු සමහර කලාකරුවන් නම් ගේම ගහගත්තා.

මේ සිස්ටම් එක දිරව ගන්න බැරි තැනටම ආවාම තමයි රටේම මිනිස්සු 2015 ජනාධිපතිවරණය ආපු ගමන් බලය මාරු කළේ. දැන් තියෙන්නේ එදා චන්ද්‍රිකාව ගේන්න ඊට පස්සේ මහින්ද ගේන්න කරගහල වැඩ කරපු කලාකරුවොම සහයෝගය දීලා පක්වෙච්ච ආණ්ඩුවක්. ඊට කලින් තිබුණු පාලනයේ වැරදි සිද්ධවෙන්න කිසිම ඉඩක් තියන්නේ නෑ කියලා දස අතේ පොරොන්දු දීපු යහපාලන ආණ්ඩුවක්. ඒත් තාම අපිට පේනේන් නෑ කලාවට සම්බන්ධ ආයතනවල හෝ ඒ ඒ කලාවන්ට නම් හොඳ කලක් උදාවෙච්ච පාටක්.

ඒ වෙනුවට හැම කලාවකටම අදාළව තිබුණු ප්‍රශ්න පත්‍රයට තව තවත් ප්‍රශ්න එකතුවීම විතරයි සිද්ධ වුණේ.

සිනමාවේ ප්‍රශ්න ටිකටත් වුණේ එච්චරයි. වේදිකා නාට්‍යකරුවන්ට, ට නාට්‍ය පෙන්නගන්න තිබුණ රඟහලවල් එකින් එක වැහෙනවා. සිනමාශාලා එකින් එක වැහෙනවා.  දේශීය සිනමා කර්මාන්තය ශීඝ්‍ර‘යෙන් නරක අතට කැරකෙනවා.

අපිට ආරංචියි කොළඹ නගරයේ හැදෙන සුපිරි නිවාස සංකීර්ණවලත් සුපිරි සාප්පු සංකීර්ණවලත් ඉහළ මට්ටමේ මිනි තියටර්ස් හැදෙන බව. ඒත් ඒවයින් අපේ රටේ චිත්‍රපටිවලට ලැබෙන ඉඩ කොච්චරද කියලා කියන්න තාම දන්නේ නෑ. ඒ අය ඉතිං අපේ සිනමාව දියුණු කරන්න කියලා සිංහල චිත්‍රපටි දාලා වේලි වේලි  තියාගෙන ඉන්න එකක් නෑ. විදේශීය චිත්‍රපටිවලට තමයි ඒ තැන්වල ප්‍රමුඛතාව ලැබෙනවා ඇත්තේ. මේ විදියට අපේ සිනමාව කොන්වෙලා යන එකට ආණ්ඩුව වහාම මැදිහත් වෙන්න ඕන. තවත් ආණ්ඩුවට මෙකෙන් කට්ටි පැන පැන ඉන්න බෑ. එහෙම වුණොත් ඉතිං දේශීය සිනමාව වැටෙන වැටිල්ල ඇතුන් ලවාවත් ආපහු අද්දවන්න බැරිවේවි.

ප්‍රියත්ත කොඩිප්පිලි