ලෙස්ටර්ලගේ ගෙදර
අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨම සිනමාකරුවා වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා ඉඳපු ගෙදරින් දැන් එයාලට යන්න වෙලා කියන ප්‍රවෘත්තිය පසුගිය දවස්වල බොහෝ මාධ්‍ය වාර්තා කළා. ලෙස්ටර්-සුමිත්‍රා දෙන්නා කාලයක් තිස්සේ බම්බලපිටියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ගෙදරක තමයි වාසය කළේ.
අවුරුදු පනහකට කිට්ටු කාලයක් ලෙස්ටර්ලා මේ ගෙදර හිටියා. දැන් ඒ ගෙවල් අයිතිකාර අය ලෙස්ටර්ලටත් නොදන්වා ඒ ගෙදර වෙනත් කාටදෝ විකුණපු ආරංචියක් තියෙන්නේ. මේ වැඩේ නිසා ලෙස්ටර්ලට පාරට බහින්න සිද්ධ වෙයිද නැද්ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි මෙතන ඒ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන් දෙපොළට යම් අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ තරම් ප්‍රවීණ කලාකරුවෙකුට වුණත් අපේ රටේදී කෙලවෙනවා කියන පාඩම තමයි මේ සිදුවීම හරහා කියාපාන්නේ.
දැන් බොහෝ දෙනා පීරිස් යුවළට සාධාරණය ඉටු කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. අපි දන්නේ නෑ රජය මේ ප්‍රශ්නයට මොන ආකාරයට සංවේදී වෙයිද කියලා. අපේ රටේ කලාවටවත්, කලාකරුවන්ටවත් කිසිම රජයක් ඒ හැටි අතහිත දුන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. ඉතිං මේ වගේ දේවල් සිදුවීම මහා අමුත්තක් නොවෙයි. වෙන රටවල් නම් මේ ලෙවල් එකේ කලාකරුවෝ ජාතික අවශ්‍යතාවයක් විදියට සලකලා රකිනවා. ඒත් අපේ රටේ ඉඳපු සහ ඉන්න පාලකයන් කාටවත් කලාව සංස්කෘතිය ගැන ඒ තරම් ඕනකමක් තිබුණේ නැති නිසා සිද්ධ වුණේ කලාකරුවෝ දේශපාලඥයන්ගෙන් සිඟමන් ඉල්ලන හිඟන්නෝ ගාණට වැටිච්ච එක.
ලෙස්ටර් පීරිස්ලා මේ ගෙදර හිටියේ කුලියටලුනේ. එහෙම නම් ඒ දෙන්නා දැනගන්න ඕන ඒ ගනුදෙනුව හරියට කරගන්න. අපි දන්න තරමට කුලියට ගෙදරක හිටියොත් කවදා හරි ඒ ගෙදරින් යන්න සිද්ධ වෙනවා. ලෝක ප්‍රකට සිනමාකරුවෝ දෙන්නා මේ ගෙවල් කුලී ක්‍රමවේදය ගැන නොසැලකිල්මත්වීම නම් පුදුමයට කරුණක්. අපි දන්නා තරමට මේ දෙන්නා සක්‍රීයව චිත්‍රපටි කරන කාලේ යම් ආර්ථික මට්ටමක ඉඳපු දෙන්නෙක්. කුලී ගෙදරක ඉන්නවා කියලා දැන දැන මෙහෙම අඩමානෙට වැඩ කළේ ඇයි කියන එකයි මට නම් ප්‍රශ්නය. ඒ අය ඉඳපු ගෙදර එයාලාගේ ජීවිත කාලය පුරාම තියා ගන්න විදිහට වැඩපිළිවෙළක් හෝ මේ වගේ හදිසි ප්‍රශ්නයක් ආවොත් ඒකට විසඳුමක් විදියට විකල්පයක් තියාගැනීමට කල්පනා නොකිරීම හිතාගන්න අමාරුයි. ලෝකෙම කරක්ගහපු ලෙස්ටර්ලා ගෙදරක කුලියට හිටියම කවදාහරි ගෙදරින් යන්න වෙන බව නොදැන හිටියා කියන්නද මේ ගෙවල් ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වයට ලෙස්ටර්ලාගේ වටිනාකමක් නැති නිසානේ මේ විදිහට වැඩ කරලා තියෙන්නේ. ඒක මේ දෙන්නට මීට කලින් තේරිලාම නැද්ද? ඒකත් ප්‍රශ්නයක්. රටටම වටින මිනිහෙකුට මේ විදියේ දෙයක් කරන්න පුළුවන් පිරිසකගේ ගෙදරක නම් ලෙස්ටර්ලා මෙච්චර දවසක් ඉඳලා තියෙන්නේ.
පසුගිය කාලය පුරාම අපි දැක්කේ අප්‍රේල් මාසට ජනාධිපතිලා ලෙස්ටර් ගෙදර ගිහින් එයා බදාගෙන ෆොටෝ අරගෙන කේක්ගෙඩියක් කපලා උපන්දිනේ සමරනවා විතරයි. ඒ දේශපාලකයෝ කවදාවත් මේ මනුස්සයාගේ ගෙදර ප්‍රශ්නේ ගැන අහලාවත් නෑ. එයා වටේ සමීපව ඉඳපු කලාකරයොත් දන්නවා මේ මනුස්සයා කුලි ගෙදරක ඉන්නේ කියලා. එහෙව් එකේ ලෙස්ටර් සුමිත්‍රා දෙන්නගෙම චිත්‍රපටිවල රඟපාපු පසුගිය කාලේ ජනාධිපති උපදේශකවරු වෙලා ඉඳපු අයට හෝ මේ ගැන සංවේදී වෙන්න තිබුණා. ඒත් ඒ වෙනුවට තම තමන්ගේ මල්ල පුරෝගත්තු එක තමයි ඒ හැමෝම කළේ.
කලාකරුවෝ තමන්ට දේශපාලකයෝ හෝ ආණ්ඩුවෙන් සියලු දේ කරලා දෙයි කියලා කට ඇරගෙන බලාගෙන ඉන්න එකත් දීනකමක්. කලාකරුවෝ ඒ තරම් පහලට වැටෙන්න ඕන නෑ. කලාකරුවෝ දේශපාලකයන් පස්සේ යන්න පටන් ගත්තු තැන ඉඳලා ඒ දේශපාලකයෝ තමන්ගේ පස්සෙන් එන කලාකරුවෝ නටවන්න පටන් ගන්නවා. අදටත් අපිට ඒක හොඳට පේනවා
එක රටක සම්මාන උලෙළකින් සම්මානයක් අරගෙන ආපු ජගත් චමිල කියන හාදයටත් පසුගිය ආණ්ඩුව ගෙයක් දුන්නා අපට මතකයි. ඒ වෙනුවට ආණ්ඩු දැන්වීම්වල පෙනී ඉඳලා ආණ්ඩුවට කළගුණ සලකන්න ඒ නළුවට සිද්ධ වුණා කියලත් සමහරු කියනවා. ඒ කොහොම වුණත් පසුගිය ආණ්ඩුවේ නිවාස ඇමතිවෙලා ඉඳපු කෙනා තමන්ගේ හිතවත් පිරිසට වරදාන දන්දීලා කියලා. හිරෙත් වැටිලා ඉන්නේ. ඒත් මේ අයටවත් ලෙස්ටර්ලා වගේ අයගේ නිවාස ප්‍රශ්නය පෙනිලා නෑ වගේ.
කොහොම වුණත් මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. කලාකරුවෝ කියලා ආණ්ඩුවෙන් හැමදේම කරන්න කියලා නියමයකුත් නෑ. ඒත් ආණ්ඩුවකට යුතුකමක් තියෙනවා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ගෞරවනීය විදිහට සලකන්න.
දැන් අපේ රටේ කලාකරුවෝ කියලා ඉන්න අයගෙන් බහුතරය මාර තක්කඩි. මේ තක්කඩි නම් ආණ්ඩුවකින් රකින්න ඕන නෑ. ඒත් අපි විශ්වාස කරනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් සැබෑ කලාකරුවෙකුගේ මේ ප්‍රශ්නයට රජයත් සංවේදී විය යුතුයි කියලා.
ප්‍රියන්ත කොඩිප්පිලි