බත් තියෙන තැනටමද කොස්
65 පැන්න ගායික ගායිකාවන්ට ඔන්න පෙන්ෂන් එකක් දෙන්න පටන් අරගෙන. ජනාධිපති මෛත්‍රීගෙ තමයි වැඩේ. කාට හරි සුබසාධන වැඩක් වෙනවනම් ඉතිං බොහොම හොඳයි. ඒත් මේ දීම කොච්චර දුරට පොදුවේ කලාවට කරන සාධාරණ සැලකිල්ලක්ද කියලා හොයලා බලන්න ඕන.
වයස 65 පැන්න ගායික ගායිකාවන්ට විතරක් හදිස්සියෙන් පෙන්ෂන් දෙන්න මතක් වුණේ මොකද දන්නේ නෑ කියලා තමයි බොහෝ දෙනා අහන්නේ. දේශපාලන නායකයන්ට හැමදාම ලොකුවට පේන්නේ සිංදු කියන අයයි රඟපාන අයයි. මේ ගොල්ලො විතරයි දේශපාලකයන්ට කලාකරුවො වෙලා තියෙන්නේ.
අපේ රටේ ගායික ගායිකාවො ඉන්නවා රටේ ජනතාවගේ ප්‍රමාණයටත් වඩා. ඉතිං මේ පෙන්ෂන් එක ලැබෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලත්, මේ වැඩේ කරන අය ප්‍රසිද්ධ කළා නම් තමයි හොඳ. මොකද අද ගොළුවොත් සිංදු කියන කාලයක් මේක. අනික මේ ගායික ගායිකාවො ඉතා ඉහළ මිල ගණන්වලට සිංදු කියන අය. අද මේක තනිකරම බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. කිසිම කෙනෙක් තමන්ගෙ ගණන් අඩු කරන්නේ නෑ. වැඩකට කතා කළාම ඒ අතරෙ අසරණ වෙච්ච පැරණි ගායික ගායිකාවො පිරිසකුත් ඉන්නවා. මේ අයට නම් සාධාරණයක් වෙන එක හොඳයි.
අපිට කිසිම විශ්වාසයක් නැත්තේ මේ පෙන්ෂන් දෙන එකත් ලැබිය යුතු අයට ලැබෙයිද කියන එක. සිංදු කීපයක් විතරක් කියපු ගායික ගායිකාවෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ සිංදුවල ඉහළ වටිනාකමක් තියෙනවා. දැන් ඉන්න හාදයන්ගේ චොකා බයිලාවලට වඩා ගොඩක් වටිනා සිංදු කියපු මේ සියලුම ගායික ගායිකාවන්ට මේ පෙන්ෂන්දීම හරහා සාධාරණයක් වෙනවද කියන එක තමයි හොයලා බලන්න ඕන.
ජනාධිපති මේ ළඟදිත් ගායක ගායිකා සංගමයට ලක්ෂ ගාණක ලොකු මුදලක් දුන්නා. මෛත්‍රී ලොක්කත් තමන්ගේ සාක්කුවෙන් අරන් දෙනවා වගේ මේ දෙන්නෙම ගායක ගායිකාවන්ටමනේ.
ජනාධිපතිට වෙන වෙන ක්ෂේත්‍රවල වැඩ කරන කලාකරුවො ගැන පේන්නේ නැද්ද දන්නේ නෑ. චිත්‍ර, මූර්ති කරන අය පාරම්පරික කලා නිර්මාණ කරන වෙනම පිරිසක් ඉන්නවා.
මේ විදියට ඉතාම අඩු පහසුකම්, අඩු ආදායම් සහ අඩු අවධානය යටතේ වැඩ කරන මේ වගේ කලාකරුවො ගැනත් බලනවනම් හොඳයි.
ඒත් කිසිම ආණ්ඩුවක් මේ කලාකරුවන්ට හරි හැටි සැලකුවේ නෑ. කවුරුත් සැලකුවේ ගායික ගායිකාවන්ටයි, නළු නිළියන්ටයි. මේක හරි පුදුම වැඩක්.
මෙහෙම කියපු ගමන් දැන් ගායික ගායිකාවෝ කේන්ති ගන්න බැරි නෑ. ඒත් ජනප්‍රිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් බත් බෙදන්නේ කොස් තියෙන තැනටමයි.
ගායික ගායිකාවන් හෝ නළු නිළියන් කරන්නෙත් අනිත් හැම ක්ෂේත්‍රයකම අය කරනවා වගේ රස්සාවක්. මේ අය රටට සේවයක් කරනවා වගේ බොරු බයිලා දැන් වලංගු නෑ. අද සමහර කලාකරුවො තමයි වැඩියෙන්ම තක්කඩි වැඩ කරන්නේ. සමහර කලාකරුවෝ තරම් ගේම් කාරයෝ පාතාල ලෝකෙවත් නෑ. ඉතිං මේ අය මාර පොරවල් කියලා විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා ජනාධිපති හිතනවා නම් ඊට කලින් සලකන්න ඕන පිරිස් ඉන්නවා.
ගායික ගායිකාවෝ සිංදු කියන්න අය කරන ගාස්තුවල හැටියට ඒ අය 65න් පස්සේ ආණ්ඩුව රැකබලාගන්න ඕන තත්ත්වෙකට පත් වෙනව නම් ඒක සිද්ධ වෙන්නේ ඒ අයගෙ තියෙන මුදල් කළමනාකරණයේ දුර්වලකමක් නිසා. අනික මේ අය වසර 65 පැන්න කියලා සිංදු කියන රස්සාව නවත්තන්නෙත් නෑනේ. වික්ටර් රත්නායකට දැන් වයස හැත්තෑ පහත් පැනලද කොහෙද. තාමත් සිංදු කියනවා. සිංදු පහක් හයක් කියන්න එක ෂෝ එකකට ලක්ෂ දෙකක් විතර ගන්නවා. එතකොට මේ අයට ලැබෙන පෙන්ෂන් එකම අනිත් කලාකරුවන්ටත් දෙන්න ආණ්ඩුව සූදානම්ද,
ආණ්ඩුවෙ රස්සා කරලා රටට කඹුරල පෙන්ෂන් ගියපු රජයේ සේවකයන්ට පෙන්ෂන් ගන්න ගියාම දස වද විඳින්න වෙනවා. ආණ්ඩුව මේවා ගැනත් හිතනවා නම් හොඳයි. අවසාන වශයෙන් කියන්න වෙන්නේ රටේ කලාකරුවෝ හෝ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්න සුදුසු වෙන්නේ සිංදු කියපු අය විතරක්ම නෙවෙයි.
ප්‍රියන්ත කොඩිප්පිලි