පතීට පස්සේ
ධර්මසේන පතිරාජ අපේ සිනමාවේ අපට හමුවුණු වැඩකාරයෙක්. පතීගේ වැඩ ටික ඉවර කරලා පතී පහුගිය ජනවාරි 28 වැනිදා යන්න ගියා. දැන් පතී ගැන ශෝක වෙලා වැඩක් නෑ. පතීලා නැති සිනමාව පුරවන්නේ කොහොමද කියල හිතමු. පතීලා නැති සිනමාවේ පතීලගේ අඩුව පුරවන්නේ කවුද කියන එකයි තියෙන ලොකුම ප්‍රශ්නය. පතිරාජලා වගේ මිනිහෙකුට ‘රිප්ලේස්මන්ට්’ එකක් නෑ. ඒත් පතීලා නැති සිනමාවට කවුරු හරි අවශ්‍යයි. කවුරුහරි කියන්නේ වැඩ බැරි හාල්කෑලි නෙවෙයි. සිනමා සාක්ෂරතාව තියෙන තරුණ සිනමාකරුවෝ පෙරහරක් අත්‍යවශ්‍යයයි. එහෙම නැති වුණොත් ඉතුරු වෙන්නේ බඩමාලු සිනමාවක් තමයි.
අද අපේ සිනමාව දරුණුම අඩියකට වැටිලා තියෙන මොහොතක්. ඒ වගේ අසීරු අඩියකදී පතිරාජලා වගේ පුරෝගාමියොත් සමුගන්නවා කියන්නේ, තත්ත්වය තවත් බරපතළයි. අයාලේ යන සිනමාවට මග කියන්න ඉන්න ප්‍රවීණයෝ එක්කෙනා දෙන්නා ජීවිතයෙන් සමුගෙන ගියාම ඉතුරු වෙන්නේ සිනමාව ගැන මෙලෝ හත්තිලව්වක්වත් නොදන්න චිත්‍රපටි කියලා කටේ තියන්න බැරි බඩකඩුත්තු හදන පොරිසාදයෝ ටිකක්.
පතිරාජලාගේ සමුගැනීමේ අනතුර තියෙන්නේ සිනමාකරුවෙක් සමුගත්තා කියන එක විතරක් නිසාම නෙවෙයි. පතිරාජ කියන්නේ කොන්ද කෙළින් තියාගෙන ඉඳපු කලාකරුවෙක්. කිසිදු හේතුවක් නිසා කිසිදු දේශපාලකයෙකුට කොන්ද නැමුවේ නැති කලාකරුවෙක්. ඒනිසාම ඕනෑම ලොක්කෙක් ඉස්සරහා තියාගෙන තමන්ගේ අදහස් බය නැතුව කියන්න හයියක් පතිරාජට තිබුණා. ඒක අපි අවසාන වතාවට දැක්කේ පතී වෙනුවෙන් චිත්‍රපටි සංස්ථාවේ පහුගිය දවසක පවත්වපු උපහාර උත්සවයේදී. ඒකේ ප්‍රධාන ආරාධිතයා විදියට ආපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉස්සරහා තියාගෙන පතිරාජ කිව්වේ රටට පොරොන්දු වෙච්ච දේවල් ටික ඉටුකරන්න කියලා. ඒ වගේම විවිධ වේශයෙන් ක්‍රියාත්මක වෙන ආගමික අන්තවාදය මට්ටු කරන්න කියලත් පතී අවධාරණය කළා. තමන්ට උපහාර උත්සවයක් පවත්වපු ආණ්ඩුවට ආණ්ඩුවේ නායකයන්ට හතරගාතේ දාලා වැඳ වැටෙනවා වෙනුවට පතිරාජ කොන්ද කෙළින් තියාගෙන ජනාධිපතිවරයාට මතක් කළේ, ඔහු අමතක කරලා තියෙන රටට දුන්නු පොරොන්දු ඉටුකිරීමේ වගකීම. මේ වගේ දෙයක් කියන්න කට අරින්න පුළුවන් පතිරාජ වගේ දේශපාලන නායකයන්ගෙන් ජරාව කාපු නැති කලාකරුවෙකුට විතරයි.
පතිරාජලාගෙන් පස්සේ ආපු පරම්පරාවේ සිනමාකරුවන්ගෙන් ඇත්තටම සිනමාකරුවෝ කියලා බය නැතුව තියන්න පුළුවන්කම තියෙන්නේ සීමිත දෙනෙකුට විතරයි. තොග ගාණට චිත්‍රපටි හදන අය හිටියට දක්ෂ සිනමාකරුවෝ ඉන්නේ අතළොස්සයි. දැන් ඉන්න තරුණම තරුණ සිනමා පරම්පරාවෙත් අපි දකිනවා දක්ෂයෝ. මෙන්න මේ දක්ෂයන්ට අපේ සිනමාවේ ඉඩ ලබාදීමේදී ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන. එහෙම නැතිවුණොත් ඒ අයටත් වෙන්නේ චිත්‍රපටි කියලා මොකක් හරි අටමගලක් අටවලා ප්‍රේක්ෂකයන්ගේ තුට්ටු දෙකට තට්ටු කරන්න මාන බලන වැඩි බැරි ටාසන්ලා අතරෙම රස්තියාදු වෙන්න.
පතිරාජලට කරන්න පුළුවන් ඉහළම ගෞරවය තමයි පතිරාජලා බලාපොරොත්තු තබාගෙන ඉඳපු තරුණ සිනමාකරුවන්ට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පසුබිමක් හදලා දෙන එක. ඒක රජයේ වගකීම. මේ ආණ්ඩුව බලයට ගේන්න දරදිය ඇදපු කලාකරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය අද ඉන්නේ අප්‍රසාදයෙන්. මොකද ආණ්ඩුවට මේ අය අද අවශ්‍ය නෑ වගේ ප්‍රතිපත්තියක ඉන්න නිසා. මේ කලාකරුවෝ කරපු ඉල්ලීම ආණ්ඩුවට දැන් අමතක වෙලා වගේ තමයි වැඩ කරන්නේ.
ආණ්ඩුවල ලොක්කෝ කවදත් කලාකරුවෝ පාවිච්චි කළේ බලයට එන්න ඒදණ්ඩක් විදියට තමයි. බලයට ආපු ගමන් ඒකට පයින් ගහනවා.
මෙන්න මේ වගේ තත්ත්වයකදී තමයි සිටිය යුතුම පතිරාජලා වගේ මිනිස්සුත් සමුගන්නේ. ඒක තරුණ සිනමාකරුවෙන්ගේ අවාසනාව. ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න, කතා කරන්න, මැදිහත් වෙන්න ඉඳපු ප්‍රධාන පුරෝගාමියෙක් අහිමිවීම මේ තරුණ පරපුරට ලොකු පාඩුවක්.
පතිරාජලා නැති සිනමාවේ හෙට දවස අඳුරු නොවෙන්නම් පතිරාජලා වියහැකි තරුණ සිනමාකරුවන්ට දොර විවෘත කිරීමයි. වගකිව යුත්තන්ගේ වගකීම.
ප්‍රියන්ත කොඩිප්පිලි