නොනවතින රාජිත
මේ දවස්වල රාජිත කියන නම හරි ප්‍රසිද්ධයි. පාර්ලිමේන්තුව පැත්තෙනුත් පහුගිය දවස්වල සද්දෙට මේ නම ඇහුණා. ඒත් මේ කියන්න යන්නේ ඒ තැන්වල නම කියැවෙන රාජිත ගැන නම් නෙවෙයි.
මේ කියන්න යන්නේ වේදිකා නාට්‍යවලින් අපි හමුවට එන රාජිත දිසානායක ගැනයි. අපිට රාජිත මුලින්ම මුණ ගැහෙන්නේ මීට දශක දෙකකටත් ඉස්සර. වේදිකා නාට්‍ය හදලා ඒවා පෙන්නගෙන දශක දෙකකටත් වඩා නොනවතින ගමනක් යනවා කියන්නේ අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ කරන්න හොඳ හයියක් තියෙන්න ඕන.රාජිත ඒ හයිය දැන් කාලයක් තිස්සේ පෙන්නමින් ඉන්නේ.
මේ වෙනකොට වේදිකා නාට්‍ය දහයක් පහළොවක් විතර හදපු රාජිත ඒ නාට්‍යවලින් කීපයකට සම්මාන අරගෙන තිබෙනවා. මේ ඔක්කොටොම වඩා වැදගත්ම දේ තමයි රාජිත තමන්ටම අයිති ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නගා ගැනීම.
අපේ රටේ වේදිකා නාට්‍ය කලාවට තමයි හොඳටම හෙනගහලා තියෙන්නේ. නාට්‍ය කාරයෙක් වෙනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වාගේ සීන් එකක්. කිසිම ආණ්ඩුවක් නාට්‍යකරුවන්ට හෝ වේදිකා නාට්‍ය කලාවට ඒ හැටි සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. සිනමාවට හෝ ටෙලි නාට්‍යවලට වගේ සල්ලි වියදම් කරන්න නිෂ්පාදකවරුත් වේදිකා නාට්‍ය පැත්තෙ නෑ. කොටින්ම මේක ටිකක් කැසිල්ලක් තියෙන අයට උරුම වැඩක්. ඒක නිසා මේකට සෙට් වෙන්නේ නාට්‍ය උණ හැදිච්ච මිනිස්සු.
රාජිත දිසානායක අවසාන වශයෙන් හරියටම මීට අවුරුද්දකට උඩදී තමයි මිනිහගේ අලුත්ම නාට්‍ය හැදුවේ. “නැතුවම බැරි මිනිහෙක්” කියලා නම් කරපු ඒ නාට්‍යයත් සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම අවුරුද්දක් ඇතුළත දර්ශන වාර ගණනාවක් පවත්වන්නත් පුළුවන් වුණා. ඒ අතින් සම්මානයට පාත්‍ර ‘වෙනවා වගේම වැඩි වැඩියෙන් රට පුරා දර්ශන වාර ගණනාවක් පවත්වන්න පුළුවන් වීමත් ජයග්‍රණයක්. ඒක හැම නාට්‍යකරුවෙකුටම කරන්න බැරි දෙයක්. ඒ අතින් රාජිත මේ දෙපැත්තම ජය ගන්නවා. ඒක තමයි විශේෂත්වය. අපි දකින දෙයක් තමයි සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර ‘වෙන වේදිකා නාට්‍ය ඒ සම්මාන උළෙලෙන් පස්සේ හොයාගන්නවත් නැතිවීම. ඒ වගේම වැඩියෙන් දුවන නාට්‍ය සම්මාන උළෙලවලින් කැඩිලා යාම. මේ දෙකම ජයගන්න පුළුවන් කියන්නේ නාට්‍යකරුවන්ගේ හැකියාව. මෙන්න මේ කාරණය උඩ තමයි රාජිත දිසානායක සුවිශේෂ වෙන්නේ.
“සත්වාදාවල” නාට්‍ය‘යෙන් පටන් ගත්ත රාජිත “නැතුව බැරි මිනිහෙක්” වෙනකම් හදපු නාට්‍ය සියල්ලටම වගේ දායක වුණේ රාජිත එක්ක අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් කල්ලියක්. අවුරුදු විස්සක් විසිපහක් එකට වැඩ කරන්න බෑ මේ අවබෝධය නැත්තම්. ශ්‍යාම් ප්‍රනාන්දු , ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු වගේ බොහෝ පිරිසක් ඒ අතර ඉන්නවා. ඒ වගේම කාලෙන් කාලෙට මේ නාට්‍ය කණ්ඩායමට අලුතින් සාමාජිකයො එකතු වෙනවා. ඒ අයත් රාජිතගෙ නාට්‍ය හරහා තමන්ගේ ගමන ශක්තිමත් කර ගන්නවා. ඒ අනුව රාජිත විශාල පරිවාර පිරිසකට මූලිකයා වෙලා ලොකු ගමනක් ආපු මිනිහෙක්.
තාමත් තරුණ නාට්‍යකරුවෙක් කියලා බොහෝ දෙනා හඳුන්වන රාජිත කොණ්ඩෙ රැවුළත් පැහිච්ච හාදයෙක්. තාම අපේ රටේ අශෝක හඳගමලටත් කියන්නේ ඉතිං තරුණ සිනමා කරුවො කියලනේ. දැන් රාජිතලා ඉන්නේ වේදිකා නාට්‍යයේ තීරණාත්මක තැනක. අලුත් පරපුර හැදෙන්නෙ මේ අය දිහා බලාගෙන. ඒක නිසා රාජිතලා දැන් වගකීම අතට ගන්න ඕන. රාජිතලට උඩින් ඉඳපු පරම්පරාව දැන් ටික ටික වේදිකාවෙන් සමුගන්න පාටක් පේනවා. ගොඩක් අය නිහඬයි. ඉඳලා හිටලා ඒ අය කරන වැඩවලත් දුර්වලතා පේනවා. එතකොට ඒ ප්‍රවීණයො ගැන අපිට දුක හිතෙනවා. ඕන කෙනෙක් තමන්ගෙ වැඩේ අත අරින්න ඕන වෙලාවක් එනවා. අන්න ඒ මොහොත හැමෝම අවබෝධ කර ගන්න ඕන. ඒක අවබෝධ කරගන්න බැරිව පිස්සු කෙලපු ප්‍රවීණයො අපි පහුගිය කාලෙ දැක්කා. සිනමාවෙත්, වේදිකාවෙත් එහෙමයි. තමන් ළඟ බඩු ඉවරවීගෙන එනකොට තමන්ගේ ප්‍රතාපවත් ඉතිහාසයටත් කෙලෝ ගන්නේ නැතුව වැඩේ අතඅරින්න ඕන. එහෙම නැති වුණොත් තමන්ගේ නම ඉතිහාසයේ ලියවෙන්නේ හොඳම ආකාරයට නෙවෙයි. ඉතිහාසයේ නම හොඳම විදිහට ලියාගන්න ඕන නම් හොඳට වැඩ කරනවා වගේම වැඩ නවත්තන්න ඕන හොඳම මොහොත ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
රාජිත තවත් නාට්‍ය කිහිපයකින් හමුවෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද එකින් එක විග්‍රහ කරල බලද්දී රාජිත නාට්‍ය‘යෙන් නාට්‍යයට තමන්ගෙ පැසුණු බව ප්‍රදර්ශනය කරනවා. රාජිතටත් වැඩේ නතර කරන්න ඕන මෙහොත ආවම අපි සිග්නල් එකක් දෙන්නං. එතකොට රාජිතට කියන්නේ රාජිත අපිට කියපු දෙයක්මයි. “ආපසු හැරෙන්න බෑ.”
ප්‍රියන්ත කොඩිප්පිලි