කිඹුල් කඳුළු
අපේ රටේ සිනමා සම්මාන උත්සව අතරින් කැපී පේන සිනමා සම්මාන උලෙළක් විදියට කාලයක් තිස්සේ නමක් තියාගෙන ඉඳපු එකත් තමයි ජනාධිපති සිනමා සම්මාන උලෙළ. පසුගිය ආණ්ඩුව කාලේ රජයේ මැදිහත්වීමෙන් කරපු ප්‍රධාන සිනමා සම්මාන උත්සව දෙකක් වන සරසවිය සිනමා සම්මාන උලෙළ සහ ජනාධිපති සිනමා සම්මාන උලෙළ නතර කරලා දාලා තිබුණේ. මේ ආණ්ඩුව පසුගිය දවසේ සරසවිය සිනමා සම්මාන උලෙළ පැවැත්වූවා. ඉතුරු වෙලා තිබුණු ජනාධිපති සිනමා සම්මාන උලෙළත් ඊළඟ සුමානේ පවත්වන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. මේක සිනමාව පැත්තෙන් ගත්තම හොඳ ආරංචියක්. සිනමාකරුවන්ට අහිමි කරලා තිබුණු ඒ අයගේ මඟුල් ගෙවල් නැවත ඒ අයට ලබාදීමට මේ ආණ්ඩුව කටයුතු කිරීම ඉතාම උචිතයි.
මේ ජනාධිපති සිනමා සම්මාන උලෙළ ගැන මාධ්‍ය දැනුවත් කරන්න මාධ්‍ය හමුවක් පසුගිය දවසේ කැඳවලා තිබුණා. ඒ හමුවේ දැකපු දෙයක් ඔස්සේ තමයි අද කරුණු කාරණා ටිකක් කියන්න හදන්නේ.
මේ මාධ්‍ය හමුවට ආරාධනා කරලා තිබුණා ජීවන් කුමාරතුංගට. ජීවන් කියන්නේ චිත්‍රපට නළුවෙක් වගේම හිටපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. ජීවන් මේ මාධ්‍ය හමුවේ කතා කළේ හරියට හීතල හොරෙක් වගේ. මේ උලෙළ නැවත ආරම්භ කිරීමට සුභපතනවා කියපු ජීවන් මාධ්‍ය හමුව ඉවරවෙනවත් එක්කම එතැනින් පිටවෙලා ගියා. ඒ කතා කරපු විලාසයෙන් අපි දැක්කා ජීවන්ට තිබුණු %ගිල්ටි ෆීලින්^ එක. කවුරු වුණත් ඒ විදියට ජීවන් ඒ මාධ්‍ය හමුවට කැඳවලා කතා කරන්න දීපු එක ඉතාම හොඳ තීරණයක්. හෘද සාක්ෂියක් තියෙනවා නම් ජීවන්ට හිතෙන්න ඇති තමනුත් කැබිනට් ඇමතිකමක් කරපු පසුගිය ආණ්ඩුවේ මේ සම්මාන උලෙළ නවත්තපු එක පාප කර්මයේ තමනුත් කොටස්කාරයෙක් නේද කියලා. සිනමාවට සම්බන්ධ පුද්ගලයෙක් හැටියට මේ වගේ දේවල් ගැන ෆයිට් එකක් දෙන්න ජීවන්ලට යුතුකමක් තිබුණා.
ඒත් ඒ වෙනුවට ජීවන්ලා කළේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපු එක. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ කාලේ මේක කැන්සල් කරලා දාලා තිබුණු එක ගැන දැන් කිඹුල් කඳුළු නම් හලන්න එපා කියලා රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගියපු කලාකරුවෝ හැම දෙනාටම මතක් කරන්න ඕන.
සරසවිය සිනමා සම්මාන උලෙළ නැවත පටන් ගත්තු වෙලාවේ තිබුණු මාධ්‍ය හමුවේදීත් මේ වගේම වැඩක් වුණා. ඒකෙ මේ විදියේ කිඹුල් කඳුළු හැලුවේ මහින්ද රාජපක්ෂගේ සිනමා උපදේශකයා වෙලා ඉඳපු රවීන්ද්‍ර රන්දෙණිය. ඇත්තටම මේ අය රෙදිත් ඇඳගෙන මේ කතා කියනවාද කියලා අපට හිතාගන්න අමාරුයි.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ අපේ කලාකරුවන් කොච්චර නිවට වෙලා හිටියද කිව්වොත් ජනාධිපති සම්මාන උලෙළ, සරසවිය සම්මාන උලෙළ අපේ කලාකරුවන්ට අහිමි කරලා ඒ වෙනුවට %අයිෆා^ සම්මාන උලෙළට කෝටි ගණන් වියදම් කරද්දී අපේ කලාකාරයන්ට කොන්දක් තිබුණේ නෑ තමන්ට අහිමි වුණ සිනමා සම්මාන උලෙළක් පවත්වන්න කියලා ආණ්ඩුවට බලකරන්න. ඒ වෙනුවට ඒ අය කළේ අයිෆා සම්මාන උලෙළේ අඟුපිලේ ලඟින්න ටිකට් හොයපු එක. අයිෆා සම්මාන උලෙළ පසුගිය ආණ්ඩුව අපේ රටේ කිවේ රටම ආර්ථික අතින් හොම්බෙන් යද්දී ඒත් අපේ කලාකරුවෝ කට පියාගෙන රාජපක්ෂලට ප්‍රශස්ති ගායනා කළා.
රාජපක්ෂලාගේ බලය පවත්වාගැනීම වෙනුවෙන් කැම්පේන් කරද්දී මහ මුදල් වියදම් කරලා සල්මන් ඛාන්ලා, ජැකලින් ෆර්ඩිනැන්ස්ලා ගෙන්වද්දී අපේ කලාකාරයෝ තුට්ටු දෙකට වැටිලා හිටියේ. ඒ අයට රාජපක්ෂලා කළේ බලුකපුටු දානයක් දෙනවා වගේ මාසෙකට දෙකකට වතාවත් අරලියගහමන්දිරේ දන්සලක් දෙන එක. අපේ කලාකාරයෝ පෝලිමේ ගිහින් මේ දන්සලෙන් කාලා මහින්ද රාජපක්ෂලව්වා බඩත් කොනිත්තවාගෙන ගෙදර ආවා. සිනමාව ඩිජිටල් කරනවා කියලා දිගින් දිගටම පෙන්නපු කැරට් අලේටත් අහුවුණා.
ඒ කාලේ මාධ්‍ය ඇමතිවෙලා ඉඳපු කෙහෙලිය රඹුක්වැල්ල නිතර කතා කළේ ඊළඟ මොහොතේ සිනමාව ඩිජිටල් කරන්න පුළුවන් මැජික් පොල්ලක් තමන් ළඟ තියෙනවා වගේ. හැබැයි ආණ්ඩුව වැටෙනකම්ම එයාගේ මැජික් පොල්ල වැඩ කළේ නැහැ.
පසුගිය ආණ්ඩුව කලාවට නොකරපු දේවල් මේ ආණ්ඩුවට වහාම කිරීමේ යුතුකමක් දැන් තියෙනවා. එහෙම නැතිවුණොත් රාජපක්ෂලා ගිය පාරෙම මේ අයටත් ගෙදර යන්න වෙයි. හැබැයි මේ ආණ්ඩුව කලාවට යම් යම් දේ කරන්න උත්සාහ කරන බවක් පේනවා. මේ සිනමා සම්මාන උලෙළ දෙක නැවත පටන්ගත්තු එකත් ඒකට පොඩි සංඥාවක්. සිනමා පාසලක් ආරම්භ කරන්නත් යන කතාවක් තියෙනවා. ඒකත් අර රන්මිණිතැන්න හදද්දී වගේ සමහරු ලොකු නළුවන්ගේ සාක්කුවලට කොමිස් කුට්ටි වැටෙන විදියට නම් බිස්නස් කරන්න ඉඩ තියන්න එපා.
සරසවිය සිනමා සම්මාන උලෙළට වගේම ජනාධිපති සිනමා සම්මාන උලෙළටත් එන කලාකරුවෝ අතරින් රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය අයට හිතේවි තමන්ට මේ වගේ සිනමා උලෙළක් අහිමි කරපු අයට නේද ඒ අය කඩේ ගියේ කියලා. හැබැයි එහෙම හිතලා ඇඳුම් නම් තෙත් කරගන්න එපා. ඒත් අපි හිතන්නේ නෑ ඒ තරම් හෘද සාක්ෂියක් සහ ලැජ්ජාවක් තියෙන කලාකරුවෝ අද ඉන්නවා කියලා.
ප්‍රියන්ත කොඩිප්පිලි