අයියෝ කිෂූ
රේඩියෝ අහන එක පිස්සුවක් වෙලා තිබුණෙ ඒ කාලේ. දැන් නම් රේඩියෝ ඇහුවම පිස්සු වගේ. රහට රේඩියෝ අහපු අතීතයක් අපටත් තිබුණා. දැන් ඒ රහ වහ වෙලා. ඒ ගැන කතා කරන්න ගියොත් කතාව දුරදිග යනවා. අපි අද කියන්න හදන්නේ වෙන කතාවක්.
රේඩියෝ චැනල් කන්දොස් කිරියාවක් වෙලා තියෙන අද කාලේ අහන්න පුළුවන් වැඩසටහන් තියෙන්නේ එහෙමත් චැනල් එකක තමයි. අපි අද කියන්න යන කතාවට සම්බන්ධ වැඩසටහන යන්නේ ‘සියත’ රේඩියෝ එකේ. මේකෙ හැමදාම සතියේ දවස්වලට රෑට යනවා. ‘මම කැමතිම ගී දහය’ කියලා වැඩසටහනක්. රටේ විවිධ තරාතිරම්වල පුද්ගලයො ඇවිල්ලා තමන්ගේ කැමතිම සිංදු දහය ඉදිරිපත් කරන එක තමයි වැඩසටහනේ ස්වභාවය. පසුගිය 12 වැනි සඳුදා මේ වැඩසටහනේ සිංදු තෝරන්න එකතුවෙලා හිටියේ. අපේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන කිෂූ ගෝමස් මේක නැවත විකාශනයක්ද දන්නෙත් නෑ. ඒත් ඒ වැඩසටහනට කිෂූ ගෝමස් තෝරපු සිංදු ලැයිස්තුව අහගෙන හිටියම මේ වගේ අදහසක් ලියන් මට හිතුණා. ඒ සිංදු ලැයිස්තුවේ එක සිංදුවක් එක්කයි මට මේ ආරෝව ඇතිවුණේ.
කිෂු ගෝමස් කියන්නේ තමන්ගේ දක්ෂකමින් සහ කැපකිරීම් නිසාම ව්‍යාපාරික ලෝකයේ ඉහළම ආපු පුද්ගලයෙක්. අද අපේ රටේ ඉන්න ව්‍යාපාරික ඥානය අතින් උඩින්ම ඉන්න කිෂු ගෝමස් කලාව පිළිබඳවත් සංවේදීතාවක් තියෙන බව මේ වැඩසටහනේදී එයා පෙන්නුවා. එත් කිෂුගේ භාවිතය සහ චින්තනය එක්ක තමන් කැමතිම සිංදු දහය අතරට අසංක ප්‍රියමන්ත පීරිස් ගායනා කරන ‘මගේ දරු පැටවු අහසට දෑත දිගුකරන්’ කියන සිංදුව සෙට් වෙන්නේ කොහොමද කියන එක ගැන මට පුංචි අපැහැදිලිකමක් තියෙනවා. මම ඒක ගැන ටිකක් විස්තර කරන්නම්.
කිෂූ තෝරපු ගීත දහය අතරෙ තිබුණු ගීත කීපයක් නම් කරලා හිටියොත් මේ වැඩේ තව ටිකක් පැහැදිලි කරගන්න ලේසියි. වික්ටර් රත්නායකගේ ‘මල් පොකුරු පොකුරු’ සුනිල් එදිරිසිංහගෙ ‘හදේ කොතැනක’ , ග්‍රේෂන් ආනන්දගේ ‘බිළිදුනේ දරුවනේ’ ටී.එම්. ජයරත්නගේ ‘අම්මා සඳකි’ කීර්ති පැස්කුවග්ගේ ‘කඳුල ඉතින්’ චන්දන ලියනාරච්චිගෙ ‘කවි සීපද’ කසුන් කල්හාරගෙ ‘කවුළු පියන් පත්' සුනිල් එදිරිංහගේ ‘මලින් මලට ඉගිලුනාට’ වගේ සිංදු තමයි කිෂූ තෝරලා තිබුණෙ. මේ සිංදු පිළිවෙළේ අංක පහට කිෂුගේ කැමැත්ත තිබුණෙ අසංක ප්‍රියමන්තගෙ ‘මගේ දරුපැටවුන්’ සිංදුවට. අපි ඒ සිංදුවෙ වචන ටිකත් සඳහන් කරලම ඉන්නම්.
“මගේ දරු පැටව් අහසට දෑත දිගුකරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්
ඇහැළ මල් පිපුණු දෙවෙටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
පුංචි උන් හඬයි අම්මා බැස්සේ නෑ කියා
කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගේ කවි තාලේ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
හඬන හිත නිවන මල් පැනි නැතුව බැරි හැඬයි”
මේ සිංදුව මෑත කාලේ අපි අහපු පිරිමිකමට කෙලවපු පට්ටම ප්‍රතිගාමී සිංදුවක්. නමට පිරිමියෙක් වෙලා ඉපදිච්ච නපුංසකයෙකුගේ අදෝනාවක් තමයි මේකෙන් අපට ඇහෙන්නේ. මෙතන නපුංසක කිව්වේ ලිංගික බෙලහීනත්වය වගේ අදහසක් නෙවෙයි. එහෙම නම් මේ හාදයා ‘මගේ දරු පැටවු’ කියලා කතාව පටන් ගන්න එකක් නෑනේ.
රස්සාවක් කරන්න බැරුව බිරිඳ පිටරට යවලා ඇය එවන සල්ලිවලින් කසිප්පු ගහන කාලකණ්ණියෙක් මේ සිංදුව ඇහෙනකොට මතක් වෙනවා වගේ නේද? මේක ඇතුළෙ සමාජ දේශපාලන කතාවක් කියවෙනවා. බිරිඳට හෝ ළමයින්ට ප්‍රේම කරන සැමියෙක් හෝ පියෙක් මේ සිංදුවේ අපට පේන්නේ නෑ. පිටරටක මැරි මැරි වැඩ කරලා තුට්ටු දෙකක් එවන සිය බිරිඳටම අඩපාලි කිය කිය අඩියක් ගහලා ආතල් එකක් හොයන මිනිහෙක් නේද මේ සිංදුවෙ ඉන්නේ, තමන්ගෙ සින්න වෙන්න යන ඉඩම ගොඩ ගන්න බෑ කියා කියා නාහෙන් අඬන මේ මිනිහා බිරිඳ රට ගිය එකත් වරදක් විදියට අඩපාලි කියනවා.
ඇහැළ මල් පිපුණු දෙවටෙදි හමුවෙලා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා කියලා විලිලැජ්ජාවක් නැතුව මේ මිනිහා කියනවානේ. අපේ සංස්කෘතියේ අපි දැකපු සැමියා හෝ පියා මෙහෙම නෙවෙයි. කුමන පීඩනයක් යටතේ වුණත් දරු පවුල රකින පිරිමියෙක් අපේ සංස්කෘතියේ හිටියා.
ඒකයි රත්න ශ්‍රී ලියන්නෙ මෙහෙම,
“නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල්කමටා
දිවි පුදා නුඹ රකින්නෙම්
නොපුරා එහෙත් පෙරුම් දම්”
මේ සිංදුවේ එන පිරිමියට ළමයි රොත්තක් හැදුවට උන්ට කන්න දෙන්න හම්බ කරන්න තියා අම්මා නැති ටිකට දරුවෝ ටික බලා ගන්නවත් බෑනේ. දරුවන්ට කවන්න නිදි කරවන්න බෑ කියලා කං කෙදිරි ගාන එහෙමත් තාත්තලා ඉන්නවද. ඕන තරම් ඇති. ඒත් මෙහෙම තාත්තලා ගැන සිංදු ලියවෙන්න ඕනද. මිනිහා ඊළඟට කියනවා ‘මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි’ කියලා මේ ගතු කීම නම් වෙන සෙල්ලමකට වගේ පේන්නේ. කතාව අන්තිමේ මිනිහගේ ස්වර්ගය තියෙන්නේ කොහෙද, ‘හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි’ මේ යකාට කන පැලෙන්න අඩියක් ගහලා පවුලෙ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාන්නයි ඕන වෙලා තියෙන්නේ. මේකා පිරිමිද?
සුනිල් ආරියරත්නයන් ලියනවා, අපේ බොහෝ ගෙවල්වල ඉන්න පිතෘත්වයට ගෞරවයක් දෙන තාත්තා කෙනෙක් කියන කතාවක්.
“තාත්තා වුණත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දරුරියන් රකින”
මේ සිංදුවෙ පිරිමියා තමන්ගේ බිරිඳට දක්වන ආදරය තවදුරටත් කියනවා. මේ සිංදුවල නේද අපි ‘හොඳ තාත්තා’ කෙනෙක් දැක්කේ. ගෑනී පිටරට යවලා ඒ එවන සල්ලිවලින් අඩියක් ගහලා සැනසෙන්න හිතන අය ගැන ලියවෙන සිංදු තමන්ගේ දැඩි කැපවීමෙන් ඉහළට ගිය කිෂු ගෝමස්ගෙ කැමතිම සිංදු දහය අතරේ තියෙන්නෙ එක හරි පුදුමයි. හැබැයි කිෂූ තෝරපු ‘මලින් මලට’ සිංදුවෙ ඉන්නවා පවුලටම ආදරේ කරන පවුලේ බර කරට ගත්තු පිරිමියෙක්, තාත්තා කෙනෙක්,
‘හිතේ ගින්න අවුලාගෙන
හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි
අතුරේ පිය මනින්නේ’
මේ සිංදුවෙ නේද හොඳ තාත්තා කෙනෙක් අපට හමුවෙන්නේ. ශාන්ත ජයලත් තිසේරා ලියපු අසංක ප්‍රියමන්ත කියන ‘මගේ දරු පැටවු’ සිංදුව අන්ත ප්‍රතිගාමී සිංදුවක් කියලා කියන්නේ ඒකයි. කිෂූ ගෝමස් කියන ධනාත්මක අදහස් එක්ක මේ වගේ සිංදුවක් සෙට් වෙන්නේ කොහොමද කියන්න තේරෙන්නේ නෑ. ඒක කිෂුගෙන්ම තමයි අහන්න ඕන. අපි කැමතියි මේ වගේ දේවල් ගැන හොඳ සංවාදයකට කිෂූ එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ පටලැවිලි ටික ලිහාගන්න පුළුවන් වෙයි.
කොහොමත් දැන් අසංක ප්‍රියමන්ත කියන ගොඩක් සිංදු සෙට් වෙන්නෙ බස්වල හිඟාකන අයට. මොකද බස්වල හිඟාකන අය කියන්නෙම අසංකගේ මේ වගේ අදෝනා සිංදුමයි. අසංක සිංදු කියපු කාලයක් තිබුණා ඉස්සර. මුල් කාලේ අසංක ආපු විදියට අපි හිතුවා මාර ගායකයෙක් වෙයි කියලා. අන්තිමට මිනිහා බස් එකටම වැටුණා.
අපි මේ කියපු දේවල් එක්ක මේ සංවාදය ඉදිරියට ගෙනියන්න අපි කැමතියි. බලමු ඒ සංවාදය ඉදිරියට යන්නේ කොහොමද කියලා. ප්‍රගතිශීලී කලාවක් වෙනුවට ප්‍රතිගාමී කලාවක් වපුරණ එකේ වාසිය හැමවිටම හිමි වෙන්නේ දේශපාලඥයන්ට. ඒක නිසා අපි ප්‍රගතිශීලී කලාවක් වෙනුවෙන් එකතු වෙමු.
ප්‍රියන්ත කොඩ්ප්පිලි