හිගන්නො නොවෙමු
කලාකරුවො ලෙඩට දුකට පත් වුණාම රටේ මිනිස්සු සල්ලි සම්මාදම් කරන එක දැන් පුරුද්දක් කරගෙන. මේ හරහා ගොඩනැගෙන තත්ත්වය සමහර වෙලාවට ඉතාම ජුගුප්සාජනකයි. ඇයි මේ කලාකරුවොමේ තරම් පල්ලෙහාට වැටෙන්නෙ.
අපේ රටේ මිනිස්සුන්ට තියෙන ගුණයක් තමයි තවත් කෙනෙක් කරදරයට පත් වුණාම උදව් කරන එක. අපේ රටේ සමහර කලාකරුවො හිතාගෙන ඉන්නෙ තමන්ට රටෙ ආණ්ඩුවෙත් වගකීම කියලා. මෙන්න මේ වගේ අය තමන්ට මොකක්හරි කරදරයක් වුණාම කියන්නෙ තමන් කලාකරුවෙක් විදියට රටට මාර දෙයක් කරල තියෙනවා, ඒක නිසා රටම තමුන්ට සලකන්න ඕන වගේ දෙයක්. නැතිනම් කියන්න වෙන්නෙ තමන් කොච්චර දේවල් රටට කළත්, රටේ ඉන්නෙ කළගුණ නොදන්න මිනිස්සු කියලා. හැම කලාකරුවෙක්ම මෙහෙම නෑ,ඒත් බහුතරය මේ වගේ තමයි.
මේ කලාකරුවන්ගෙ හිඟන මානසිකත්වය එච්චර ඔබින්නෙ නෑ, අපිට මතකයි ජාතික චිත්‍රපට සංස්ථාවෙ සභාපති ජයන්ත ධර්මදාස පත්වුණු අවස්ථාවල සමහර කලාකරුවො කිව්වෙ සිනමාවට මොකුත් නොවුණත් කමක් නෑ එතුමා නිසා තමන්ට බේත් හේත්ටික හරි නොමිලයේ ගන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ හිඟන මානසිකත්වයකින් තමයි අපේ ගොඩක් කලාකරුවො වැඩ කරන්නෙ.
මෙහෙම උන් කලාකරුවොද කියලා අහන්න වෙනවා. තමන්ට බේත් ටික ගන්න ලෙඩ වුණාම ජයන්ත ධර්මදාස උන්නැහේගෙ ඉස්පිරිතාලෙ නවතින්න ලැබෙන නිසා චිත්‍රපට සංස්ථාවෙ සභාපති වීම යහපතක් විදියට දකින අය සිනමාවට මොනවා වෙන්නවද කියලා දන්නෙ නෑ. ජයන්ත චිත්‍රපටි සංස්ථාවෙ සභාපති විදියට යම් වැඩ කොටසක් කරපු කෙනෙක්. ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ. ඒත් ඉස්පිරිතාලයක් තියාගෙන සහන මිලට බේත් දීමඔහු චිත්‍රපටි සංස්ථාවෙ සභාපති වෙන්න ලොකුම සුදුසුකම වෙන්න බෑ. ඒත් සිනමාවෙ ඉන්න අයට ඕන ඒක.
කලාකරුවොබොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ රටේ ජනතාවයි, ආණ්ඩුවයි ඒ අයව රකින්නඕන කියලා. ආණ්ඩුවෙන් කොච්චර වරප්‍රසාද ගත්තත් මේ අයට මදි. ආණ්ඩුවෙන් දෙන ගේත් ගන්නවා, වාහනෙත් ගන්නවා, තව පැන්ෂන්, අරවා, මේව ඕනෙ කියලා ඒවටත් අඬනවා, කෙළවරක් නෑ. කලාකරුවො විතරක් නෙවෙයි රටේ තීරණාත්මක වෘත්තිකයො.ආණ්ඩුවකින් රටේ හැම පුරවැසියා ගැනම වගකියන්නඕන. කලාකරුවොහිතාගෙන ඉන්නවා නම් ඒ අය අලිහොඬෙන් ආවා කියලා, ඒක තමයි ඒ අයගෙ අවුල.
ලෙඩට දුකට පත් වෙච්ච ඕනෑම කෙනෙක් ගැන හොයලා බලන එක හෝ පිහිට වෙන එක හැම කෙනෙකුගෙම යුතුකමක්. ඒකට අර කෙනාගෙ තරාතිරම, වෘත්තීය ජනප්‍රියකම අදාළ නෑ. ඒක නිසා කවුරු කවුරුත් තම තමන්ගේ වෘත්තිය හෝ ජනප්‍රියකම ගැන ඕනෑවට වඩා උඩඟු වෙන්න හොඳ නෑ. ඕනෑම ලොක්කෙකුට හිතන්නේ නැති මොහොතක කෙළවෙන්න පුළුවන්. ඒක නිසා තමන්ගේ මනුස්සකම ගැනත් ටිකක් හිතන්න.
අපේ රටේ කලාකරුවෝ ගොඩක් දෙනෙක් තම තමන්ගේ වැඩ ඉහළම මිලකට විකුණන අය. ඒ කවුරුවත් නිකම් තමන්ගේ කලාව කරන්නේ නෑ. සමහරු නම් රුපියලටත් හෙට්ටු කරනවා. පෙළක් අය මස්රාත්තම ඉල්ලන ෂයිලොක්ලා. එහෙව් අය තමයි තමන් සංවේදී කලාකරුවො කියලා බෝඩ් ගහගෙන, රටෙන් ගෞරවය බලාපොරොත්තු වෙන්නේ. අපි දන්න කලාකරුවෝ ගොඩ දෙනෙක් දේශපාලකයන්ටත් වඩා අමු තක්කඩි. සාමාන්‍යයෙන් දේශපාලකයෝ තක්කඩිනේ. ඒත් අපේ සමහර කලා පොරවල් තක්කඩිකමෙන් දේශපාලකයොත් පරාද කරනසයිස්. ඒක තමයි අපේ රටේ කලාකරුවන් අතරේ කවදාවත් එකමුතුවක් නැත්තේ. කාලෙන් කාලෙට හැදෙන එක එක ජාතියේ කලා සංවිධාන ඉතා ඉක්මනටම කැඩිලා විසිරිලා යන්නෙත් මේ නිසා.
කලාකරුවෝ නෙවෙයි, ඕනෑම කෙනෙක් හිතට ගන්න ඕන තමන් මොන තත්ත්වයේ හිටියත් නොහිතන මොහොතක කරදරේක වැටෙන්න පුළුවන් කියලා. ඒක නිසා එහෙම වුණාම රටේ මිනිස්සුන්ගෙන් හිඟාකන්න බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් කාලේ කරන රස්සාවකින් යම් මුදලක් ඉතිරි කරගෙන හොඳ ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන යන්න. එතකොට කාටවත් බැණ බැණ ඉන්න ඕන නෑ.