වෙලාවට ගරු කිරීම
අද බොහෝ සිනමා නිර්මාණවල පමණක් නොව සමස්තයක් හැටියට සමාජයේ හැම ක්ෂේත්‍රයකම වගේ විනය පිරිහිලා තියෙන විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දශක තුනකට එහා පරපුර හා අද පරපුර හා සැසඳීමේදී ඒ වෙනස හොඳින්ම පේනවා.
අපි කලාව ගැන කතා කළොත් අධ්‍යක්ෂකවරයා සිට පහළට හැම තැනකටම බලපාන ප්‍රධාන සාධකය තමයි විනය නැතිකම. වෙලාවට වැඩක් කරන්න බැරි, ගුණාත්මක නිර්මාණයක් එළි දක්වන්නට බැරි ප්‍රධාන හේතුව ඒකයි. හැබැයි ඉතින්, ඒ අතර විනය තදින් රකින කලා ක්ෂේත්‍රයේ ශිල්පීනුත් ඉන්නවා. ඔන්න ඒ වගේ සිද්ධියක් ළඟදි දවසක වුණාලු.
ස්ථානය කොළඹ තරු පහේ හෝටලයක්. එදා තිබුණේ අලුත් චිත්‍රපටයක මුහුරත් උත්සවයක්. නැකතට වෙලාව ළං වෙලා, ඒත් ප්‍රධාන චරිතය රඟපාන තරුණ නිළියක් තාම ඇවිත් නැහැ.
“අපි තව ටික වෙලාවක් බලමුද?” නිෂ්පදකවරයා අධ්‍යක්ෂකගෙන් ඇහුවා.
“නැකැත් වෙලාව වෙනකම් බලමු, එච්චරයි.”අධ්‍යක්ෂක කිව්වලු. ඔන්න නැකතට සියලුම දේ සිද්ධ වුණා. ඒත් අර නවක නිළිය නැහැ. පැයකට පස්සේ ලොකු “සොරියක්” කියාගෙන අර නිළිය එතෙන්ට පාත් වුණාලු.
“මේ කරන්නේ කලා නිර්මාණයක්. වෙලාවට වැඩ නොකරන අය එක්ක මට මේ වැඩේ කරන්න බැහැ. ඒ නිසා ඔයා මේ චිත්‍රපටියෙන් අයින් කළා. වෙරි සොරි.” අධ්‍යක්ෂකවරයා අර නිළියට කිව්වම එයා පැය භාගයක් විතර ඉකි ගසා අඬලා එහෙමම යන්න ගියාලු.
මේ වගේ කොන්දක් තියෙන අධ්‍යක්ෂකවරු තව ඉන්නවනම් මේ ක්ෂේත්‍රය නගා සිටුවන එක අමාරු දෙයක් නෙවෙයි.