බෝට්ටුවේ හුටපටේ
සියලුම භේදයන් පරදවමින් යටපත් කරමින්, මනුස්සකම ඉස්මතු වූ අපූරුව නොබෝදා ඇතිවූ ගංවතුර උවදුරින් අපි හොඳහැටි දැක ගත්තා.
ඒත් ඉතිං එක්කෙනෙක් දෙන්නෙක් නිසා මනුස්සකම යටපත් වුණේ නැත්තෙ එකමුතුකමේ, සංහිඳියාවේ ශක්තිය ප්‍රබල නිසයි.
ඔන්න වැල්ලම්පිටිය පැත්තෙ එක්තරා කොටසක ගංවතුරින් අසරණ වූ පිරිසක් රැකවරණය ලබාගත්තෙ ඒ පැත්තෙ කන්දක උඩ පිහිටි පන්සලක. එතන කිසිදු භේදයකින් තොරව සෑම ජාතියකටම අයිති මිනිස්සු හිටියා. එකම රටක එකම දැයක අසරණ වූ මිනිස්සු. එතන රජවුණේ මනුස්සකම.
පන්සල් භූමියෙන් ආරක්ෂා සහිත ස්ථානවලට මිනිස්සු රැගෙන ගියේ බෝට්ටුවලින්. ඒ අතර හිටියා මැදිවියේ රංගන ශිල්පිනියෙකුත්. බෝට්ටුවේ එක වරකට ගෙනියන්නෙ 10 දෙනයි. ඒත් බෝට්ටුව ආවම ඒකට 100ක් විතර නඟින්න පොර කනවා. මේ රංගන ශිල්පිනිය ළඟ හිටියා ඒ ගමේම වයසක අම්මා කෙනෙක්.
"අම්මේ ඔයා පොරකන්න යන්න එපා බෝට්ටුවට නගින්න. මාත් එක්කම ඉන්න. අපිට අන්තිමට හරි යන්න පුළුවන්නෙ." කියලා ඇය අර වයෝවෘද්ධ අම්මට කිව්වා.
අවසානයේදී මේ අයටත් බෝට්ටුවේ යන්න අවස්ථාව ලැබුණා.
"අම්මා දැන් තනියම කොහාටද යන්නෙ? මේ කට්ටියම අපි දාන්නෙ වැල්ලම්පිටිය හන්දියට විතරයිනෙ?"
"අනේ මට තනියක් නැහැ දුවේ. මගේ දුවලා දෙන්නත් මාත් එක්කම පන්සලට ආවා. ඒගොල්ලො කලින් බෝට්ටුවෙ නැඟලා ගිහිං මම එනකම් බලං ඉන්නවා ඇති" අර අම්මා කිව්වලු.