බුදු අයියේ ඕෆ් කරලා දෙන්න
ස්ථානය : සිනමා සම්මාන උළෙලක් මෑතකදී පැවැත්වූ සුපිරි ශ්රවනාගාරයක්. ඉදිරිපෙළ අසුනක ලංකාවෙ ප්රධාන පෙළේ ජනප්රිය නළුවෙක් අසුන්ගෙන සිටිනවා. ඔහුට පසුපස පේළියේ වාඩි වී සිටින්නෙ ලංකාවෙ තවත් ජනප්රිය තරැණ කලා අධ්යක්ෂකවරයෙක්. කලා අධ්යක්ෂක ළඟ ඉන්නෙ අංගරචනා ශිල්පියෙක්.
සම්මාන පිරිනැමීමේ කාලය එළඹීමත් සමඟ ශාලාව පුරා තිබුණෙ දැඩි නිශ්ශබ්දතාවයක්.
ඒත් එක්කම කලා අධ්යක්ෂක අසල අසුන්ගෙන සිටි අංගරචනා ශිල්පියා අසුනෙන් නැඟිට වොෂ් රෑම් එකට ගියේ ඔහුගේ ජංගම දුරකතනය කලා අධ්යක්ෂකට බාරදීලා.
මිනිත්තුවක්වත් යන්න කළින් ඒ දුරකතනයට කෝල් එකක් එනවා. කලා අධ්යක්ෂක ඒක ඕෆ් කරන්න දන්නෙ නැහැ. ඔහුට හීන් දාඩිය දාලා. ශාලාවෙ ඉන්න හැමෝම ඔහු දිහා බලනවා. ඔහු ෆෝන් එක පුටුව යටට දැම්මා. ඒත් සද්දෙන් අඩුවක් නැහැ.
යාන්තම් කෝල් එක නැවතුණා. ආයෙත් කෝල් එක ආවා. ඔහු ඒකත් අරගෙන එළියට ගියා, වොෂ් රෑම් පැත්තට. පස්සෙ යාළුවො දෙන්නම ශාලාවට ඇවිත් වාඩිවුණා.
ඔන්න දැන් වේදිකාවෙන් ආරාධනාවක්. කලා අධ්යක්ෂකට ඉදිරියෙන් වාඩිවෙලා ඉන්න ප්රවීණ නළුවට සම්මාන බෙදා දෙන්නට ඇරයුමක්.
ජනප්රිය නළුවා වේදිකාවට පියමනින්නට පෙර ඔහුගේ ජංගම දුරකතනය අර කලා අධ්යක්ෂකට දෙනවා.
“අනේ බුදු අයියේ, මට මේක ඕෆ් කරලා දෙන්න. කාපු පරිප්පුව හොඳටම ඇති,” කියලා කලා අධ්යක්ෂක කිව්වලු.