පොඩි අඩියක් ගත්තට අවුලක් නැද්ද?
අපේ ප්රවීණ කලා ශිල්පියෙක් කාලෙක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. කෑම බීම ගැන පරෙස්සම් වුණාට, බේත් හේත් ගත්තට සීනි මට්ටම අඩුවෙන්නෙම නැහැ. ඒත් එයාගෙ කලා වැඩ කටයුතුවලට නම් මේ දේවල්වලින් කිසිම බාධාවක් නැහැ.
අන්තිම පාරට දොස්තර බලන්න ගිය වෙලාවෙ කියලා තියෙනවා ඉන්සියුලින් එන්නත්වලට යන්න වෙයි කියලා.
ඒකට බයවෙලා ඔහු දන්න කියන හැමෝගෙන්ම උපදෙස් ගන්නවලු සීනි ලෙවල් එක අඩු කරගන්න.
ඔන්න එක්කෙනෙක් කිව්වලු අහවල් තැන සිංහල බෙහෙත් බඩු සාප්පුවට ගියොත් එතන සීනි අඩුකරන වියළි කොළ වර්ගයක් තියෙනවයි කියලා. වැඩේ හරියට හරි. එයාට බෙහෙත් වර්ගය හම්බවුණා. රූට කොළ දෙක තුනක් වතුරෙ පෙඟෙන්න දාලා උදේට ඒ වතුර ටික බොන්න ඕනෙලු සතියට දෙවරක්. මෙයා බෙහෙත් ගන්න ගිහින් තියෙන්නෙ එයාගෙ නෝනත් එක්ක. බෙහෙත් ටික අරගෙන සල්ලිත් ගෙවලා මෙයා එළියට එන්නෙ නැහැලු. බෙහෙත් සාප්පුවේ වෙද මහත්තයගෙන් තව මොකක්දෝ අහන්න තියෙනවලු. කඩේ සෙනඟ වැඩි නිසා වෙද මහත්තයව අල්ලගන්නත් අමාරැයිලු. ඔන්න කොහොම හරි වෙද මහත්තයව අල්ලගෙන එයාගෙ කනට කරලා මොකක්දෝ ඇහුවලු.
"වෙද මහත්තයෝ මේ බෙහෙත ගන්න ගමන් ඉඳලා හිටලා පොඩි එකක් ගත්තට අවුලක් වෙන්නෙ නැද්ද?"
"පොඩි එකක්නම් අවුලක් වෙන්නෙ නැහැ. ඒත් පොඩි එක පස්සෙ ලොකු වුණාම තමයි අවුලක් වෙන්නෙ," කියලා වෙද මහත්තයා කිව්වලු.