නංගිගේ මාධ්‍ය සදාචාරය
මිනිස්සුන්ට දුකක් කරදරයක් වුණාම අපි කොච්චර සංවේදී වෙනවද? කොච්චර දුක් වෙනවද? ඒත් තව කෙනෙකුගේ දුකකදී, කරදරයකදී වුණත් තමන්ගේ පටු අභිලාෂයන් මුදුන් පත් කර ගන්නට හදන අය ඉන්න බව අපි දැකලා තියෙනවනෙ.
මේ සිද්ධිය අපි දැක්කෙ පහුගියදා අපෙන් සදහටම සමුගත් ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ මල ගෙදරදි. මල් ශාලාවෙන් දේහය ගෙදරට ගෙනවිත් වැඩි වෙලාවක් ගියේ නැහැ, කැමරාවක් අතින් ගත් තරැණියක සමඟ පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක සේවය කරනවා යැයි කියන තරැණියකුත් එතනට ආවා.
ඒ ප්‍රතිභාපූර්ණ නළුවාගේ බිරිය හැඬූ කඳුළින් තවත් ප්‍රවීණ නළුවෙකුට සිදු වූ කරදරය ගැන විස්තර කරමින් ඉන්නවා.
අර මයික් එක අතට ගත් තරැණිය ඇගෙන් ප්‍රශ්න වැලක් අහනවා - ඇය සිටින්නේ ඒවට උත්තර දෙන්න පුළුවන් මානසිකත්වයක නොවන බව ඒ ලඳ බොළඳ තරැණියට තේරැණේ නැහැ.
"විජය නන්දසිරි මහත්තයා සාමාන්‍යයෙන් වාඩිවෙන පුටුව කෝකද? කොහෙ වාඩිවෙලාද කෑම කන්නෙ...?" ඇය තෝරතෝංචියක් නැතිව ප්‍රශ්න අහනවා.
බිරිය හැඬූ කඳුළින්, අඩ සිහියෙන් මෙන් පුටු, මේස දිහා දෑත් දිගුකර පෙන්වනවා.
"අපි යමු උඩට ඒ මහත්තයා නිදා ගත්තු ඇඳ ෂූට් කරන්න," ඒ තරැණිය ඇගේ කැමරාකරැට කියද්දි. අසල සිටි කෙනෙක් ඇගේ කන ගාවට ගොස් මෙහෙම කිව්වලු.
"මේ වගේ වැඩ කරන්න එපා නංගි. ඕගොල්ලො අංක එක අංක දෙක වෙන්න හදන්නෙ මේ වගේ මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලද? මේකද ඕගොල්ලො ඉගෙන ගත්ත මාධ්‍ය සාදාචාරය.