ජෙනරේටර් ගැලවිල්ල
හිටපු ලොකුතැනගෙ හමුදා ආරස්සාව ඉවත් කළේ ආණ්ඩුවෙ තීන්දුවක් මත... ඒත් ඒ වෙනුවට උන්නැහේට පොලිස් ආරක්ෂාව ලැබෙනව...
ඉතින් හමුදාව ඉවත් කරන කොට ඒ අයගෙ උපකරණ මෙවලම් එහෙමත් ගෙනියනව... ඒක සාමාන්‍ය දෙයක්... කොහොම වුණත් හමුදා ආරක්ෂාව තියෙද්දි උන්නැහෙ තංගල්ලෙ ගෙදරයි මැදමුලන ගෙදරයි හදිසියකට පාවිච්චි කරන්න ජෙනරේටර් 2ක් හයිකරල තිබුණ. ඒව මිලදී ගත්තෙ ජනාධිපති කාර්යාලෙන්ලු...
එහෙම තියෙද්දි හමුදා ආරක්ෂාව අයින් කළ දවසෙ ලයිට් දෙන්න හයිකරල තිබුණ ජෙනරේටර් දෙකත් ගෙනියන්න කට්ටියක් කල්පනා කළාලු...
රාජපක්ෂ පවුලෙ කෙනකුගෙ මංගල්‍ය උත්සවයක් තිබුණ පසුගියදා දවසක. කාකි යුනිෆෝර්ම් ඇඳගත්ත මහත්තයෙක් අඬු බඬුත් අරගෙන ජෙනරේටර් ගලවගෙන යන්න ආව... ඇවිල්ල මැදමුලන ගෙදර ජෙනරේටරේ ගලවනකොට මේ පවුලට සම්බන්ධ අය ඇවිල්ල ලොකු සද්දයක් දැම්මලු. ඊළඟට රටේ ඉහළම තැන්වලටත් මේ කරන්න යන වැඩේ පත්තු කළාලු. ජෙනරේටර් දෙක ගලවගෙන ගිහින් ඉහළින් දේශපාලන ලකුණු ටිකක් දාගන්න පොරක් කරපු ජරමරේ ඉවර වුණේ මේ ගැන පරීක්ෂා කරන්න කියලා නියෝගයකුත් ලැබුණට පස්සෙ කියලයි ආරංචි.