කනේ පුළුන් ගහගෙන ගිය ගමන
අපේ එක්තරා කලා ශිල්පියෙකුට කාලෙක ඉඳලා තියෙනවා ඔළුවෙ කැක්කුමක්. හැම තැනින්ම බෙහෙත් ගත්තත් නිට්ටාවට හොඳවෙන්නෙ නැහැ, ආයිත් මතුවෙනවා. අව්වෙ කාරිය ගියාම වැඩිවෙනවා.
අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් මෙයාට පිටිසර ගමක වෙද මහත්තයෙක් ගාවට යන්න කියලා, එතැන බෙහෙත් හොඳ නිසා.
ගමන යන්න තියෙන්නෙ කෝච්චියෙන්ලු.
හොඳ නස්නයක් එහෙම කරලා, ඔළුවට බෙහෙත් තෙල් ගාලා පැයකට වඩා ප්‍රතිකාර කරලා ගෙදර යන්න කිව්වලු. දවස් දෙකක්වත් හුළං වදින්නෙ නැතුව ඉන්න කිව්වලු.
ඔන්න දැන් මෙයා ආපහු කෝච්චියෙන් කොළඹ එනවා. සනීපෙට ටිකක් නින්දත් ගිහින්. ටික දුරක් යනකොට මෙයාට තේරුණාලු, එයා ළඟ මිනිස්සු කීපදෙනෙක් කැරකෙනවා. ඇස් ඇරලා බැලුවම දැක්කලු එක මනුස්සයෙක් නහය ළඟ අතගානවා.
“ඇයි ඇයි මොකද?” මිනිහා බයටම අහලා.
“නැහැ අයිසෙ, තමුසෙ හුස්ම ගන්නවද කියලා බැලුවෙ. කන් දෙකේ තඩි පුළුන් කෑලි දෙකකුත් දාගෙන ඉන්නකොට අපි හිතුවෙ නහයටත් පුළුන් දාලද කියලා.”
අපේ ශිල්පියා කන අතගාද්දී තමයි ලොකු පුළුන් කෑලි දෙක අහුවෙලා තියෙන්නෙ.