ඇන්දිල්ලේ හොඳම එක
එක්තරා දක්ෂ තරුණ තිර කතා රචකයකු හොයාගෙන අධ්‍යක්ෂකවරයෙක් ආවලු. ආවෙ ඔහු ලවා හොඳ ටෙලි නාට්‍ය පිටපතක් ලියාගන්න. කතා තේමාව රචකයාට පැහැදිලි කරලා අධ්‍යක්ෂකවරයා කිව්වෙ මේ කතාවෙ 90% ක්ම රෑපගත කරන්නේ ඉතාලියේලු.
“මට හදිස්සි වැඩ ගොඩාක් තියෙන නිසා, ඔයාගෙ වැඩේ මට ටිකක් කල් ඕන වෙයි. අනික තිර කතාව ලියන්න මට රෑපගත කරන තැන් බලාගන්නත් වෙයි.” රචකයා කිව්වලු.
“මේක ප්‍රොඩියුසර් ඉන්න ඉතාලියේ. ඕන තරම් වියදම් කරයි. මේක ඉවර කරලා අපි දෙන්නටම ඉතාලියට යන්න වෙයි නිෂ්පාදක එක්ක සාකච්ඡාවට. හැබැයි පුතෝ මේක සති දෙකකින් ලියලා දෙන්න ඕන. ඊට පස්සෙ වීසා ටික හදාගමු.”
අධ්‍යක්ෂකගේ කීමත්, ඉතාලි ගමනක් නිසාදෝ කොල්ලා සති දෙකකින් වැඩේ සුපිරියටම ලියලා දුන්නලු.
ඔන්න දවස් දෙකක් ගියෙ නැහැල්ලු අධ්‍යක්ෂකවරයා මූණු පොතේ “ගුඩ් බායි ශ්‍රී ලංකා” කියලා පෝස්ට් එකක් දාලලු. එයා ඉතාලි යනවලු. තනියම නෙවෙයි හදන්න යන ටෙලි නාට්‍යයේ රඟපාන්න යන එක්තරා ශිල්පිනියක් එක්කලු.
“වැඩේ නම් කැතයි අයියේ. මේ වගේ වංචනික වැඩක් ඔයා කරයි කියලා මම හිතුවෙ නැහැ. මම ඉතාලි යන්න කෑදර නැහැ. මම ලියපු වැඩේට සල්ලි දීලා යන්න තිබුණනේ.” රචකයා ඔහුට පණිවිඩයක් දැම්මලු. ඕකට උත්තර එවලා තිබුණේ මෙහෙමලු.
“මල්ලි මම නෙවෙයිනෙ නිෂ්පාදක. එයා තමයි සල්ලි දෙන්නේ. මම එනකොට අරගෙන එන්නම්. මම මේ නංගි එක්කරගෙන ආවෙ ඉතාලියේ එයාට රඟපාන්න තියෙන ලොකේෂන් පෙන්නන්න.”