ඇණේ හලපු හැටි
ෂූටිං ඉවරවෙලා බණ්ඩාරගම නගරෙ ඉඳලා මේ නළුවා කොළඹට එන්න පිටත් වුණේ තමන්ගෙම වෑන් එකේ. වෙලාව රෑ 12ත් පහුවෙලා. සෙට් එකේ හිටපු මේක් අප් ආටිස්ට්ගෙ ගෝලයෙකුත් මෙයත් එක්ක කොළඹට එන්න වෑන් එකට නැග්ගා.කිලෝමීටර් පහක්වත් එන්න ලැබුණෙ නැහැ, මැදිවියේ මනුස්සයෙක් වාහනේට අත දැම්මලු.
අනේ මහත්තයෝ මාව පිළියන්දල හන්දියෙන් දානවද? පින් සිද්ධ වෙයි.නළුවත් මේ අහිංසක මිනිහව දාගත්තලු වෑන් එකට.
ඔන්න බැගෑපත්වෙලා වෑන් එකට නැග්ග අර මිනිහා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තලු.මොකද්ද අයිසෙ මෙහෙමද එලවන්නෙ? පාර හිස්වෙලා තියෙද්දිත් පාගන්න ලජ්ජද? බයද?මිනිහගෙ නෝණ්ඩි ටෝක්ස්වලට දැන් නළුවට මළ පැනලලු. අර ගෝලයා කියනවා මගින් බස්සලා යමු කියලා. බැලින්නම් මිනිහා කට ගොන්නක් බීලා.ලොකු උන්නැහෙ පාටියකට ගිහින් එන ගමන් වගේ.
තමුසෙට ඒකෙන් වැඩක් නැහැනෙ. මාව පිළියන්දල ටවුමෙන් බස්සනවා.දැන් නළුවගෙ රතු කට්ට පැනලා. එකපාරටම ක්රාස්..ස් ගාලා බ්රේක් එකක් ගැහුවලු. අර මනුස්සයා හොල්මන් වෙලා.ලොකු උන්නැහෙ විනාඩියක් දෙන්න මට සුළුදිය පහකරන්න ඕනෙ. ඉක්මනින් එන්නම්, කියලා නළුවා වාහනෙන් බැස්සලු.අනේ මටත් බරක් තියෙනවා, මාත් එනවා, කියලා අර මනුස්සයත් වාහනෙන් බැස්සලු.නළුවා ඉක්මනින්ම වාහනේට නැඟලා දොර වහගත්තලු.
ලොකු උන්නැහෙ ඔය පරණ සින්දුවක් කිය කියා පිළියන්දලට පයින්ම එන්නකො, කියලා අර නළුවා කිව්වලු.