යකඩ කෙල්ලන්ගෙ සින්දු ගැන්සිය
සංගීතයට රැසි ඔබ අති දක්ෂ තාල වාද්‍ය සංගීත ශිල්පීන් දැක ඇතුවාට සැක නැත. වෙසෙසින්ම පසුගිය වසර තුන හතරක කාලය තුළ මෙරට තාල වාද්‍ය සංගීතයට ඇති ඉල්ලුමත් ආකර්ෂණයත් ඉහළ ගිය පසුබිමක තාල වාද්‍ය සංගීතය ගැන උනන්දු ඔබ එවැනි සංගීත ශිල්පීන්ගේ දක්ෂතා ඕනෑ තරම් රසවිඳින්නට ඇත. එහෙත් පසුගිය කාලය පුරාවටම දැඩි පිරිමි දෑතට පමණක් උරැමව තිබුණු තාල වාද්‍ය සංගීතය කාන්තා සියුමැලි දෑතටත් ඔට්ටු බව ලොවටම පෙන්වීමට කොළඹ සෞන්දර්ය සරසවි සිසුවියන් අටදෙනෙකුගෙන් යුත් තූර්යා වාද්‍ය වෘන්දය සමත් විය. ඒ පසුගියදා ඉන්දියාවේ පන්ජාබ් හි පැවැති 18 වැනි ජාත්‍යන්තර කාන්තා ගැමි නැටුම් තරගාවලියේදී වාදන සහ නර්තන අංශයන්ගෙන් පළමු තැන දිනාගනිමිනි.
තූර්යා කණ්ඩායම - සිතාරා මධුවන්ති, තාරැකා සෙව්වන්දි, නදීකා සුරනාද, සඳුනි චතුරංගි, විමංශි නදුනිශා, ශලිනි යශෝධා, චාමිණී අනුරැද්ධිකා, හෂානි සිරිවර්ධන
තූර්යා තාල වාද්‍ය වෘන්දය ආරම්භ කරන්න හිතුවේ ඇයි කියන තැනින්ම කතාව පටන් ගත්තොත්?
අපේ විශ්ව විද්‍යාලෙ තාල වාද්‍ය විශේෂවේදී පාඨමාලාවට මුලින්ම ඇතුළු වුණු සිසුවියත් මමයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න අදහසක් තිබුණෙ නෑ. ඒක හරිම අහම්බෙන් සිද්ධ වුණු දෙයක්. සිංහ සමාජෙ ඉන්න යාළුවෙක්ගෙන් මට ආරාධනාවක් ලැබුණා එයාලගේ උත්සවයක වාදන අංගයක් කරන්න කියලා. ඉතින් මම ශ්‍රියාන් සර් එක්කත් කතා කරලා අපි කිහිපදෙනෙක් ඒ දේ කළා. එතැනින් තමා මේ ගමන ආරම්භ වුණේ.
ඉන්පස්සෙ කොහොමද වාදන කණ්ඩායමක් ලෙස සංවිධානය වුණේ?
අපි අර විදිහේ දෙයක් කළාට පස්සෙ අපිට කැම්පස් එක තුළින් යම් පිළිගැනීමක් ආවා. මේ දේ කැම්පස් එක තුළම කරන්නකො කියලා ඉල්ලීම් ආවා. ඉන්පස්සෙ අපි ගිය අවුරැද්දෙ පෙබරවාරි මාසෙදි පළවැනි ෂෝ එක කැම්පස් එකේ පැවැත්තුවා. එතැනට ආපු රවිබන්දු විද්‍යාපති සර් අපේ ප්‍රසංගය දැකලා කිව්වා දැන් තමයි මේ කැම්පස් එක කැම්පස් එකක් බව දැනෙන්නෙ කියලා. ඒ වචන ටික අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා.
කොහොමද මේ වාදන අයිතම නිර්මාණය කරන්නෙ?
අපි ඇත්තටම විශාල කාලයක් මහන්සියක් ඒ වෙනුවෙන් දරනවා. සර් එක්ක කතා කරනවා. හැමදෙනාගෙම වගේ අදහස් එකතු කරගෙන තමා අපි නිර්මාණ කරන්නෙ. උදාහරණෙට අපි ඉන්දියාවෙ තරගෙදි ගෝත්‍රික නැටුමක් කළා. ඒකෙදි වෙන කිසිම සංගීතයක් නැතිව අපි තාල වාදන භාණ්ඩය කරගත්තෙ අපේ ඇඟ. ඇඟට අත්ලෙන් තට්ටු කිරීම හරහා විවිධ ශබ්ද ගොඩනඟාගෙන ඉදිරිපත් කරපු ඒ නැටුමට අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඇත්තටම මේ කණ්ඩායමේ තාල වාදනය අංශය විශේෂයෙන් ඉගෙන ගත් කෙනෙක්ට ඉන්නෙ මමත් තව එක් කෙනෙකුත් විතරයි. අනිත් අය සේරම නර්තන අංශයේ. එක් කෙනෙක් සංගීත අංශයේ.
මොකක්ද තූර්යා හරහා කරන්න ඉන්න වෙනස?
ඇත්තටම අපිට ඕන බෙරය හරහා කතාවක් කියන්නයි. බෙරයට ප්‍රාණයක් දීලා හැඟීමක් ප්‍රකාශ කරන්නයි. අපේ දැක්ම ඒකයි. අපේ තේමාව "මනුෂ්‍යත්වයේ රිද්මය බෙදාගමු" කියන එකයි. අපේ හදවත ගැහෙන රිද්මය බෙරය හරහා තවත් කෙනෙක්ගේ හදවතට ළං කරන්න පුළුවන්ද කියන එක තුළයි අපේ සාර්ථකත්වය රුඳිලා තියෙන්නෙ.
ඒ 18 වැනි ජාත්‍යන්තර කාන්තා ගැමි නැටුම් තරගාවලිය. පන්ජාබ්වල තිබ්බෙ. එතැනදි අපි සමාරම්භක උළෙලේ කරපු ඉදිරිපත් කිරීමට පළමු තැන ලැබුණා. ඉන්පස්සෙ ගැමි නැටුම් තරගයටත් පළමු තැන ලැබුණා.
ඒ කණ්ඩායම් කීයක් එක්ක තරග කරලද?
කණ්ඩායම් දෙසීයක් විතර හිටියා. රටවල් තිහක් විතර නියෝජනය කරපු.
මේ තියෙන වාදන භාණ්ඩ සියල්ල ඔබලගෙ වාදන භාණ්ඩමද?
අනේ නැහැ. මේ තියෙන්නෙ කැම්පස් එකේ ඒවා. අපි ඉන්දියාවෙ තරගෙට ගියෙත් නාද්රෝලගෙන් භාණ්ඩ ඉල්ලගෙන. අපි දැන් පුංචියට අරමුදලක් හදාගෙන යනවා වාද්‍ය භාණ්ඩ අරගන්න. ඒක අපිට තියෙන ලොකුම අඩුවක්.
මේ විදිහේ වැඩක් කරමු කියන අදහස සිතාරා අරගෙන ආවම ඔබට මොකද හිතුණෙ?
මම මුල ඉඳන්ම තාල වාද්‍ය භාණ්ඩ එක්ක ජීවත් වුණු කෙනෙක්. මම සිතාරාට තබ්ලාව උගන්වන අතරතුරේදි තමා ඔය කතාබහ ඇතිවුණේ. මේ අදහස ආවම මම ටිකක් කල්පනා කළා. මොකක්ද අපිට මේකෙන් කරන්න පුළුවන් කියලා. මොකද මෙතැන ඉන්නෙ ගෑනු ළමයින්මයි.
සියල්ල අභියෝගයක්. මූලිකව මේ ළමයි බොහෝ දෙනෙක්ට තිබුණේ දේශීය තාල වාද්‍ය භාණ්ඩවල හුරැව විතරයි. හැබැයි එයාලාගෙ ඒ හුරැවත් එක්ක බොහොම ඉක්මණින් ඔවුන් ඊට හැඩගැහුණා. අපේ පළවැනි ෂෝ එක කරන්නෙත් බෑන්ඩ් එක හදලා මාස හතරකින් විතර. ෂෝ එකටත් මෙයාලා දුම්රිය ගානෙ ගිහින් සින්දු කියලා සල්ලි එකතු කරලා ගොඩක් මහන්සි වෙලා තමයි ඒකට මුදල් හොයාගත්තෙ. ඉතින් යකඩ කෙල්ලො ටිකක් කිව්වොත් හරියටම හරි.
තූර්යා කණ්ඩායමේ අනාගතය ගැන මොකද හිතන්නෙ?
මෙයාලගෙ ගමන යන්නෙ මෙයාලගෙ ශක්තියෙනුයි. මෙයාලට දැනටමත් ලොකු මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මෙයාලට සංගීත පැත්තට සම්පූර්ණ කැපවීම දෙන්න අපහසු වෙලා තියෙනවා. නමුත් මෙයාලගෙ ශක්තිය දැක්කම ගොඩක් ලොකු අනාගයක් තියෙන බව පැහැදිලියි.
මේ ගමනට දායකත්වය දැක්වූ පිරිසක් ඇති?
සිතාරා - ඇත්තටම ඔව්. උප කුලපතිතුමා ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයත් විශේෂයෙන්ම චමිල සංගීත් සර්, සුපුන් ජයලත් සර්, රැවන් ජයශාන්ත සර්, ධනංජය රත්නායක, ඒ වගේම විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ලොකු සහයක් දෙනවා. කැම්පස් එකේ සහෝදර සිසුසිසුවියෝ, රඛිත ඇතුළු නාද්රෝ, සචින්ත ඇතුළු බීට්ඩ්‍රමර්ස්, අපේ මව්පියන් ඒ වගේම දුම්රිය මගීන්වත් සතුටින් මතක් කරනවා.
රජිත / සේයාරෑ - සුමුදු