අලුත්ම කට්ටියක් සෙට් වුණා - හෝ ගාන පොකුණ ගැන ඉන්දික කතා කරයි
ඉන්දික ෆර්ඩිනැන්ඩු නම් ඔහු මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ ස්වකීය වූ අනන්‍යතාවක් ගොඩ නගාගත් තරැණ නාට්‍යවේදියෙකි. දැඩි වෙහෙසත් කැපවීමත් හමුවේ වේදිකාව ජයගත් හෙතෙම මේ වන විට සිනමාවටද අඩිය තබා තිබේ. මේ මස 11වනදා EAP සිනමාහල්වලදී තිරගත වීම ඇරඹෙන "හෝ ගාන පොකුණ" සිනමා පටයේ අධ්‍ය වන්නේ ඔහුය. තම කුළුඳුල් සිනමා නිර්මාණය ගැන ඔහු සමඟ හදසර සුහද කතාබහක යෙදිණ.
කාලයක් තිස්සේ වේදිකාව ඇසුරේ දැකපුරැදු ඔබ හදිසියේම සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ අහම්බයක්ද නැත්නම් දීර්ඝ කාලීන සැලැස්මක්ද?
මට සිනමා නිර්මාණයක් කිරීමේ උවමනාව කාලයක ඉඳන් තිබුණා. අපේ රටේ චිත්‍රපට සඳහා නිෂ්පාදකයෙක් හොයාගැනීමත් ලේසි නැහැ. මට ආරාධනයක් ලැබුණා ළමා චිත්‍රපටයක් කරන්න කියල. නමුත් මගේ කලා භාවිතාව තුළ ඊට වඩා වෙනස් දෙයක් කරන්නයි මට උවමනා වුණේ. ඇත්තටම ඒ වෙනුවෙන් ලියපු තිර පිටපතක් පවා මා ළඟ තියෙනවා. හැබැයි ළමා චිත්‍රපටයක් කිරීම සිනමාවට උපක්‍රමික ප්‍රවේශයක් වේවි කියලත් මට හිතුණා. විශේෂයෙන්ම ළමා චිත්‍රපටයකින් මට පුළුල් ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කරන්නත් හැකිවෙන බව තේරැම් ගියා.
චිත්‍රපටයේ නළු නිළි කැළ වගේම නිෂ්පාදකයින් දිහා පවා බැලුවම ඔවුන් සියලු දෙනාම වගේ වේදිකාවට සම්බන්ධ වූවන්. එතනත් යම් විශේෂත්වයක් තිබෙනවා නේද?
ඔව්. චිත්‍රපටයේ ඉන්න බොහෝ අය එක්ක මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා. රංග කලාව තුළ මට ඔවුන් එක්ක තිබුණු පයුරැපාසානය එක්ක මට ඔවුන් එක්ක වැඩ කරන්න තියෙන පහසුව නිසාම තමයි ඔවුන්ව තෝරාගත්තෙ. විශේෂයෙන්ම මගේ පළමු සිනමා නිර්මාණය වුණු නිසා නළුවරණය හොඳින් කරගන්න මට උවමනා වුණා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන කුසුම්සිරි ලියනාරච්චි යශෝධරා සරච්චන්ද්‍ර වැනි අය පවා වේදිකාවට සම්බන්ධයි...
ඔව් ඒක වෙන්නෙ මෙහෙමයි. මම ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවෙදි කුසුම්සිරි සහ යශෝධරා ෙදදෙනා එක්කයි නැවතිලා හිටියෙ. එහෙ ඉද්දි තමා මේ චිත්‍රපටයට මුලින් කැමැති වෙලා හිටි නිෂ්පාදකයා වැඩේ අත්හැරදාලා ගියේ. ඉන්පස්සෙ කුසුම්සිරි තමා තවත් සම නිෂ්පාදකවරැ පිරිසක් හොයලා නිෂ්පාදනය භාරගත්තෙ. ඇත්තටම කුසුම්සිරි කියන්නෙ වේදිකාවේදි මගේ හොඳම මිතුරා. අපේ අතීතය බොහොම දිගුයි.
චිත්‍රපටයේ තිර රචනයත් ඔබගෙයි. ඊට ප්‍රස්තුතය එන්නෙ කොහෙන්ද කියලත් කිව්වොත්?
ඒකට මට මූලික අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම එක තමා මීට අවුරැදු කිහිපයකට උඩදි රට පුරා තිබුණු සංස්කෘතික මධ්‍යස්ථාන අතර නාට්‍ය තරගාවලියක විනිශ්චයට මම සහභාගි වුණා. යුද්ධෙ තියෙද්දිම සේරැනුවර ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයකටත් වරක් ගියාම අපිට හරි අපූරැ දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි ෂෙල් මෝටාර් වැදිලා තිබුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ පියානෝවක් තිබුණා. ඒක හරිම නොගැලපීමක්. මම චිත්‍රපටයේ පියානෝව එන දර්ශනයකදිත් ඒ ගැන දෙබසකින් කියලා තිබුණා. "අපිට මේකක් විතරයි අඩුව තිබුණෙ කියලා." තවත් දෙයක් තමයි අපි සාමූහික වශයෙන් නිශ්ක්‍රීය ජනතාවක් කියන හැඟීමත් මා තුළ තිබීම. අපි හැමවෙලේම අනිකා අපේ හීන සැබෑ කරලා දෙයි කියල අපි බලන් ඉන්නවා. ඒ ගැනත් මට කතාකරන්න උවමනා වුණා.
මේ චිත්‍රපටයේ ළමා නළුනිළි කැළක්ම ඉන්නවා. ළමයින්ගෙන් වැඩ ගැනීමේ කලාව පුහුණු වුණේ කොහොමද?
මම මීට කලින් නාට්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ දුෂ්කරතා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. අනෙක මම ස්වයං අධ්‍යයනයෙන් අධ්‍යක්ෂණය උගත් කෙනෙක්. ඒ නිසා මම ඉතාම විශාල පරාසයක නළුනිළියන් එක්ක වැඩ කරලා තියෙනවා. කොහොම වුණත් මම උත්සාහ කරපු දේ තමයි, අපට පාලනය කරන්න අපහසු දේවල් එහි ස්වභාවිකත්වය මරන්න නොදී එයට නිදහසේ හැසිරෙන්න යම් පමණකට ඉඩදීම. ඒ හරහා ළමයින්ගෙන් ඒ චරිතවලට අවශ්‍ය දේවල් කරගන්න මම කටයුතු කළා. ඒ එක්කම මම රෑගත කිරීම් අතරතුරදී තදබල හමුදා විනයක් පවත්වා ගත්තා. මේ ළමා පිරිස තෝරාගත්තෙත් ළමයි හයසීයක විතර පිරිසකගෙන්. අනෙක කුසුම්සිරි හා අනෙසුයා ළමයින්ව හොඳින් පුහුණු කළා.
අනෙසුයා සිනමාවට අලුත්ම මුහුණක් නේද?
ඔව්. ඇගේ පළමු සිනමා පෙනී සිටීම.
ඇයව ඔබට මුණ ගැහෙන්නෙ කළම්බු කළම්බු නාට්‍යයේදීද?
ඔව් එහිදී තමා මට ඇයව මුලින්ම මුණගැහෙන්නෙ. ඉන්පසුව මම මෑතකදී අධ්‍යක්ෂණය කරපු The Irresistible rise of Mr. Signno කියන ඉංග්‍රීසි නාට්‍යයටත් ඇය ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණා. අපි එකම විදිහේ රංගකලාවක් විශ්වාස කරන දෙදෙනෙක්. සෞම්‍ය ලියනගේ වගේ තවත් අය දැන් එතැන ඉන්නවා.
ඔබේ පළමු සිනමා නිර්මාණයට ජාත්‍යන්තර සම්මානත් හිමිවුණා...
ඔව්. මේ චිත්‍රපටයේ ලෝක සිනමා ප්‍රවේශය සිදුවුණේ ෂැංහයි සිනමා උළෙලේදීයි. ඒ වගේම පළවැනි සම්මානය හිමිවෙන්නේ අමෙරිකාවේ චිකාගෝ යොවුන් හා ළමා චිත්‍රපට උළෙලේදියි. එහිදී ගුරැවරැන්ගේ ජූරිය විසින් මෙය හොඳම චිත්‍රපටය ලෙස තෝරාගැනුණා. 2015දි චෙක් ජනරජයේ ග්ලින් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙලේදි හොඳම ළමා රංගනයට හිමි සම්මානය මේ චිත්‍රපටයේ රඟපාන ළමුන් 18 දෙනාටම ලැබුණා. ඒ සම්මානය ළමුන් කණ්ඩායමක් එක්ව දිනාගත් ප්‍රථම අවස්ථාවක් එයයි. ඉකුත් ඔක්තෝබර් මාසයේ ජර්මනියේ ලූකස් සම්මාන උළෙලේදීත් හොඳම ළමා චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. දැනට ජාත්‍යන්තර සිනමා උළෙල 09ක් නියෝජනය කරලා තියෙනවා.
පළමු සිනමා නිර්මාණය. ආපහු හැරිලා බලද්දි සියයට සියයක්ම සතුටු වෙන්න පුළුවන්ද?
නාට්‍ය කලාව තුළ පවා මා අත්දැකපු දේ තමා අපි කිසිම දේකින් සියයට සියයක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් මනුෂ්‍ය ස්වභාවය. මේ චිත්‍රපටය හැදුවේ පැය තුනක චිත්‍රපටයක් විදිහටයි. නමුත් අපේ රටේ සිනමා ශාලාවල යම් යම් අඩුපාඩු නිසා පැය දෙකකට සීමා කරන්නත් වුණා. ඒ එක්කම දැන් බලද්දි මගේ නිර්මාණාත්මක තීරණ ගැන හිතද්දි මම ස්වයං විවේචනයක් කරනවා. ඒ හැර මම තෘප්තිමත්.
- රජිත -