මුල්ම වෙළෙඳ දැන්වීමට පෙනී ඉන්න කොට මට වයස අවුරුදු අටයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ අංශ කිහිපයකටම සිය දායකත්වය ලබා දෙන හේෂානි විජේසිංහ කාලයක සිට කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්නීයකි. කුඩා වයසේ සිටම විවිධ කලා නිර්මාණවලට සම්බන්ධ වූ ඇය මේ වනවිට නැවතත් කලා නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා දෙන්නට සූදානමින් සිටියි. මේ නිසාම මෙවර සාරවිට අප හේෂානිට ඉඩක් මෙසේ වෙන් කළා.

හේෂානි ගැන අප මුලින්ම දැන ගන්න කැමතියි?

මම වෘත්‍තියෙන් රංගන ශිල්පිණියක්. පස්සේ මම නීරූපණ ශිල්පිණියක් විදිහට නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට අමතරව  වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් කාලයක් මම කටයුතු කළා. ඒ එක්කම දැන් ගී පද රචිකාවියක් වගේම තිර පිටපත් රචිකාවියක් විදිහටත්  වැඩ කරමින් ඉන්නවා. තව නිරූපණ ශිල්පිණියන්, ශිල්පින් සම්බන්ධිකාරක වරියක් විදිහට කටයුතු කරනවා. 

ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ කුඩා අවදිමයි?

ඔව්, 2007-2008 කාල සීමාව තුළ  මම වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වුණා. MD කෝඩියල් කියන. ඒක අහම්බෙන් ලැබුණ අවස්ථාවක් මට. ලෝක ළමා දිනය දවසේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ තිබුණ වැඩසටහනකදි නැන්දා කෙනෙක් මගේ අම්මාගෙන් අහලා තිබුණා මාව වෙළෙඳ දැන්විමකට ගන්නද කියලා. අම්මාගේ අකමැත්තක් තිබුණ නැති නිසා මට ඒ වැඩේට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට මට හරියටම වයස අවුරුදු අටයි. ඔය විදිහට තමයි මුලින්ම මම කලාවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මම වසර පහළොවක් විතර කලාවට සම්බන්ධ නොවී හිටියා.

එතකොට හේෂානි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ  කොයි කාලේදී?

නිරුපණයට සම්බන්ධ වුණේ නම් 2023 වසරේදී. ඒ ඩිල්ෂා විත් මොඩල් ඇකඩමිය හරහා. එතැනින් පටන් ගත්තු මගේ නිරූපණ ගමන මට ගොඩක් සුබ එකක් වුණා. වැඩ ගොඩක් ලැබුණා වගේම මාව අවස්ථා කිහිපයකදී සම්මානයට පවා පාත්‍ර වුණා. දැනට මම නිරූපිකාවක් විදිහට ඡායාරූපය ඉතා විශාල ප්‍රමාණයකට පෙනී ඉඳලා තියෙනවා. මම හිතන්නේ කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්‍රයේ තුළ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා.

පාසල් කාලේ එහෙම මතකද ඔබට?

පාසල් කාලය කියන්නේ මගෙ ජීවිතයේ මම ගොඩක් ආස කරපු කාලය.  හිතේ හැටියට ගොඩක් සතුටු වුණ කාලයක් කිව්වොත් හරි මගේ පාසල් කාලය තුළ.  පාසල් කාලේ නම් ලොකුවට කලාවට සම්බන්ධ වෙලා වැඩ කළේ නැහැ. මොකද,මගේ පවුලේ අයගෙන් ඊට ලොකු කැමැත්තක් තිබුණේ නැති නිසා. නමුත්, පාසල් කාළේ සංගීතය, නාට්‍ය රංග කලාව  එහෙම හැදෑරුවා. මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා මම ඒ කාලේ.  වැඩිපුර අවධානයක් තිබුණේ අධ්‍යාපන කටයුතුවලට නිසා ඊට මුල්තැන දුන්නා මම. හැබැයි පාසල් කාලේ මගේ හිතේ තිබුණා කවදා හරි කලාව පැත්තට යොමු වෙනවා කියලා.   

මුල් කාලයේ ඔබ රංගනයට යොමු වුණා. දැන් එය අත්හැරලද?

නැහැ. නමුත්, නිර්මාණයත් තෝරා ගැනීමේදී යම්කිසි පරාසයක් තුළ තමයි මම දායකත්වය ලබා දෙන්නේ.  ගොඩක් නිර්මාණවලට පෙනී සිටිනවාට වඩා එක හොඳ අර්ථවත් ගුණාත්මක නිර්මාණයකට මගේ දායකත්වය දුන්නොත්  මම හිතනවා මම සාර්ථකයි කියලා. ඒ වගේම  ඒ හරහා ප්‍රේක්ෂකයින් අතරත් මට රැඳෙන්න පුළුවන්. ඇත්තටම මට අවශ්‍ය ජනප්‍රිය විමට වඩා හොඳ  දක්ෂ රංගන ශිල්පිණියක් වෙන එක.  මම හිතනවා හැදැරිමත් සමග රංගන ක්ෂේත්‍රයේ ලස්සන ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මට.

කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. ඒ වගේම නිහතමානි ආඩම්බරයක් මට තියෙනවා ඒ ගැන.  මගේ හිතේ තිබුණ ලොකුම හීනයක් තමයි  කලාවට යොමු වෙනවා කියන ඒක.  ගොඩක් අය දැන් මාව දන්නවා කලා ශිල්පිණියක් විදිහට. ඒ වගේම හොඳ රසික ප්‍රතිචාරත් මට ලැබෙනවා. කලාවේ ඉහළ ගුරුවරුන් ප්‍රවීණයන්ගේ අවවාදත් සමග මේ ගමන මම යනවා. මේ ගමන එන්න ගොඩාක් අය මට උදව් කළා. මතක් කරන්නම ඕන මගෙ අම්මා, මල්ලි  සහ මගේ  අයියා,  ඒ තුන්දෙනාගෙන්  ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. ඒ වගේම මේ ඉන්න තැනට එන්න ගොඩක් අයගේ උදව් උපකාර ලැබුණා. ඒ අයට බොහෝම ස්තුතියි.

බුද්ධික සේනාධීර