මම මේ කිසි දෙයක් ජනප්‍රිය වෙන්න කියලා හිතා ගෙන කරන දේවල් නෙමෙයි
රූපවාහිනි නිවේදිකාවක් ලෙස වර්තමානයේ කටයුතු කරන අසංගිකා ශෙහාරි මෙවර සාරවිට අප සමග මෙසේ එක් විය. දැනට රූපවාහිනි නාලිකා කිහිපයකම විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන අසංගිකා කුඩා කාලයේ සිට නිවේදන වෘත්තියට දැඩි ලෙස ඇළුම් කළ අයෙක්ද වෙයි. මේ දිග හැරෙන්නේ අසංගිකාගේ කතාවයි.
මේ දවස්වල අසංගිකාගේ කාලය ගෙවෙන්නේ කොහොමද?
මේ දවස් වල චරණ Tv Youth Art Beat වැඩසටහන එක්ක තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ, ඊට අමතරව මගේ පුද්ගලික ව්‍යාපාර කටයුතු සහා ගෙදර වැඩ ටික මේ දේවල් සමබරව කරගෙන යනවා.
නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන දැන් කාලයක් වෙනවා?
ඔව් 2010 අවුරුද්දේ ජාතික රූපවාහිණියේ ළමා පුවත් තුළින් තමයි ක්ෂේත්රයට ආවේ. ඒත් එක දිගට මේ ක්ෂේත්රය තුළ මට රැදිලා ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ මගේ පුද්ගලික කාරණා කිහිපයක් නිසා. නමුත් දැන් මම මේ වෙනුවෙන් පුර්ණ කාලීනව කැප වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා වැඩසටහන් සදහා මට නැවත එකතු වෙන්න කියලා ආරාධනා කළේ මගේ යෙහෙළිය සදමාලී විතානගේව. ඒ අතර තුශාන් කරුණාරත්න අයියා, කසුන් හේවාගමගේ අයියා, වජිර ජයවර්ධන අයියා මතක් කිරීමක් කරන්න ඕනා.
වෙනස්ම විදිහේ වැඩසටනක් ඉදිරිපත් කරන්න අසංගිකාට අවස්ථාව ලැබුණොත්?
මට අවස්ථාවක් ලැබුණොත් මම උත්සාහ කරලා බලනවා. මොකද, මම මුලින්ම බලන්නේ මට ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් ද කියන දේ. බලමු ඉතින් අනාගතේ ගැන කියන්න බැනේ අපිට. ඒ වගේ අභියෝගාත්මක විදිහේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණොත් මම බාර ගනිවි අනිවාර්යයෙන්ම.
සමාජ මාධ්‍යයන් තුළ මේ අසංගිකා කැපි පෙනෙනවා නේද?
ඡායාරූප විඩියෝ දාන එක මම හිතන්නේ නෑ එහෙම කැපී පෙනීමක් කියලා. මම විතරක් නෙමෙයි කුඩා තරුණ මහළු මේ හැමෝම ඉතින් ඡායාරූප විඩියෝ වගේ දේවල් නිතරම වගේ ප්‍රසිද්ධ කරනවානේ. හැබැයි මම දකිනවා සමාජ මාධ්‍යය කියන්නේ යමෙකු ප්‍රසිද්ධ කරන්න හොඳ මාධ්‍යයක් කියලා. මේ වෙනකොට ලංකාවේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යය තුළින් තමන්ගේ අනන්‍යතාව හදාගන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් ඉතින් මමත් එහෙම කෙනෙක්, මම කැමති මට හොදයි කියලා හිතෙන දේවල් මගේ සමාජ මාධ්‍යයන්වලට දාන්න. හැබැයි මම මේ කිසි දෙයක් ජනප්‍රිය වීමේ අරමුණින් කරන දේවල් නෙමෙයි.
සමාජ මාධ්‍යයන් නිසා මිනිස්සු අසරණ වුණ අවස්ථාත් තියෙනවා?
ඔය ප්‍රශ්නේ විශේෂයෙන් අහන්න හේතුව මම දන්නවා, මේ දවස් වල වැඩි දෙනෙක් කතා බහට සහා ගැරහුම් වලට ලක් කරන කුමාර ඒකනායක මහත්මයාගේ ඒ මුණින්ද්රයාණෙනී.. ගීතය නිසා වෙන්න ඕනා. ඇත්තම කිව්වොත් එතුමා ලංකාවේ කාලයකට ඉහත ජනප්‍රිය වුණ සහා ජනප්‍රිය ගීත ගායනා කල ප්‍රවීණ ගායන ශිල්පියෙක්, ඉතින් චරණ Tv අපි උදා ඉරේ සහුර්දයා වැඩසටහනට එතුමාට ආරාධනා කලේ එතුමා ගේ ජනප්‍රිය ගීතයක් වන ලතා ලතා මගේ සෙනෙහෙ ලතා.. ගීතය ගැන කතා කරන්න, ඉතින් මේ මුණින්ද්රයාණෙනී.. ගීතය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගන්න දින කීපයකට කලින් තමයි වැඩසටහන පටිගත කළේ. ඉතින් ඔය නිසා බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නෑ. මම හිතනවා මේක හොද අවස්ථාවක් ඒ ගැන සදහන් කරන්න. ඒ වගේම මම පුද්ගලික සතුටු වෙනවා එතුමා වගේ කෙනෙක් සමග මෙවැනි වැඩසටහනක් කරන්න ලැබීම සම්බන්ධව.
නිවේදිකාවක් විදිහට දැන් ඔබ ජනප්‍රියද?
ජනප්‍රිය වෙන්න හැමෝම කැමතී, ඒක සාමාන්‍ය දෙයක් දැන් මේ වෙනකොට. මම හිතන්නේ නැහැ කවුරුත් අකමැති කියලා තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න. විශේෂයෙන් මේ වගේ කලා ක්ෂේත්රයක වැඩ කරද්දි. ඒ ලැබෙන ජනප්‍රියත්වය ගොඩාක් වෙලාවට කරන වෘත්තියට බලපානවා. මම හිතන්නේ ඉතින් මාත් යම් පිරිසක් අතර ජනප්‍රිය ඇති කියලා.
මතක් කරන්න පිරිසකුත් ඇති?
මගේ සැමියා වගේම මගේ යෙහෙළිය, මම දැනට සේවය කරන ආදරණීය නාළිකාව චරණ Tv එකට, ඒවගේම වජිර ජයවර්ධන අයියා, පුලස්තී අයියා, ශෙනාල්, පැතුම් මල්ලී වගේම මාව ලස්සන කරන පූජානි අක්කා, සියලු වැඩ කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන කැමරාකරණ ශිල්පීන්ට, කාර්මික ශිල්පීන්ට මේ හැම දෙනාවම මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර