පොඩි කාලේ ඉඳලා මම ලස්සනට අඳින්න පළඳින්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ නිරූපණ කටයුතුවල නිරත වෙන සකු ප්‍රේමරත්නට මෙවර කලාපයෙන් අප මෙසේ ඉඩක් වෙන් කළා. දැනට වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් සිටින සකු තමන්ගේ නිරූපණ ගමන ආ හැටි අපට කිව්වේ මේ විදිහටයි.

මතකද මුලින්ම නිරූපිකාවක් විදිහට හැඩ වුණ දවස?

ඔව්, එක නම් අද වගේ මට මතකයි. මම මුලින්ම හැඩ වුණේ 2013 වසරේ. ඒ මනාලියක් විදිහට. මගේ මිතුරියක් වුණ ශෂිකා මදුෂානි තමයි මාව හැඩ ගැන්වූයේ. හැබැයි ඇයගේ ඉල්ලීමක් මත මිසක් මම එතකොට නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන තිබුණේ නැහැ.

ඊට පස්සේ සකුට දිගටම නිරූපිකාවක් විදහට වැඩ කරන්න හිතුණද?

ශෙහාන් අරවින්ද මල්ලිගේ ආරාධනාවකට ආයෙත් මට නිරූපිකාවක් විදිහට හැඩ වෙන්න අවස්ථාවක් ලැබුණා. එතකොට මාව හැඩ ගැන්වුයේ දුලී කාරියවසම් අක්කා. ඒ වැඩෙන් පස්සේ මට දිගටම නිරූපණ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඡායාරූප ශිල්පි මධුෂ් අබේරත්න අයියා තමයි ගොඩක්ම උදව් කළේ.

දැනට නිරූපිකාවක් විදිහට වැඩ කරපු අවස්ථා කොපමණද?

ඡායාරූපවලට නම් මම ගොඩකට පෙනී ඉඳලා තියෙනවා. අනුමාන කළොත් සියයකට වැඩි ප්‍රමාණයකට මම නිරූපිකාවක් විදිහට දායක වෙලා තියෙනවා. අදටත් හැබැයි මම නිරූපිකාවක් විදිහට ඒ ගැන හැදෑරිමක් කරලා නැහැ. ගොඩක් වෙලාවට සසිනි අක්කා, දිල්ශා අක්කා වැනි ප්‍රවිණයින් දිහා බලාගෙන ඉඳලා තමා නිරූපණය ගැන යම් දෙයක් ඉගෙන ගත්තේ. අවශ්‍යම දෙයක දැනගන්න තිබුණොත් මම එයාලා එක්ක කතා කරලා ඒ ගැන නිතරම අහනවා.

මේක සකුට පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්ද?

පුංචි කාලෙ ඉඳන් ලස්සනට අඳින්න, මුහුණේ මොනවා හරි ගාගෙන ඉන්න ආස කළා. රූපවාහිනියේ නිරූපිකාවන් නිරූපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා බලාගෙන හිටියේ හරිම ආසාවෙන් මම. නිරූපිකාවන් වෙන්න නම් මගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ. ලස්සනට ඇදලා හෝටලයක පිළිගැනීමේ නිලධාරිණියක් විදිහට වැඩ කරන්න හීනයක් පුංචි කාලේ ඉඳලාම මට තිබුණි.

නිරූපණයට ආපු ගොඩක් අය නැවතුණේ රංගනය පැත්තට යොමු වෙලා?

මටත් ආරාධනා නම් ලැබුණා රඟපාන්න. නමුත්, භාරගත්තේ නැහැ. මගේ හිතේම තිබුණේ ඒක මට කරන්න බැරි දෙයක් කියලා. කරන්න බැරි දේකට යොමු වෙනවාට වඩා දන්න දේ කරලා ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම හැමදාම හිතුවේ.  

ඕනෑම ක්ෂේත්‍රයක ඉතින් කැපිලි කෙටිලි තියෙනවා?

මම හිතන්නේ මම හරි වාසනාවන්තයි. දැනුවත්ව අද වෙනකම් මට කාගෙන්වත් කැපිලි කෙටිලි තිබිලා නැහැ. අයුතු යෝජනා කිසිම දෙයක් මට ලැබිලා නැහැ. වැඩ කරන හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ආදරය කරන ලොකු පිරිසක් මා වටා ඉන්නවා. ඒ නිසා ඔය වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න මට සිදුවෙලා නැහැ.

මේ ආපු ගමන ගැන තෘප්තිමත්ද ඔබ?

අනිවාර්යයෙන්ම. මොකද, නිරූපිකාවක් විදහට දැන් මම මේ ක්ෂේත්‍රය තුළ වසර පහකට වඩා වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. අද වෙන කොට නිරූපිකාවක් විදිහට යම් පිරිසක් මාව දන්නවා. ඉතින් ඒක ලොකු සතුටක් මට.  මගේ ලඟින් ඉන්න මට හයියක් වෙන යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ හැමෝමත් පවුලෙ අයත් ආදරෙන් මතක් කරනවා. මා සමග වැඩ කරපු ඡායාරූප ශිල්පින්, රූපලාවන්‍ය ශිල්පි වගේම ඇඳුම් නිර්මාණ ශිල්පින් ගොඩක් ඉන්නවා. ඒ අය ගොඩක් උදව් කරලා තියෙනවා මට. ඒ හැමෝටම මේ වෙලාවේ මම මගේ කෘතවේදිත්වය පිරිනමනවා නිහතමානිව.

බුද්ධික සේනාධීර