ඒ ආදර කතා නම් මතක් කරන්න කැමති නැහැ
මෙවර “සුභ උපන් දිනයක්” විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවන්නේ නව පරපුරේ දක්ෂ ආදරනීය රංගන ශිල්පිනියක්. ඇය නමින් නිලුෂි පවන්යා.
දෙසැම්බර් 5 කියන්නේ නිලුෂිගෙ උපන්දිනය. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ගතවෙලා මේ දවස එද්දි මොනවගේ හැඟීමක් ද හිතට දැනෙන්නෙ?
අවුරුද්දෙන් අවුරුද්ද ගතවෙනවා කියන්නේ වයසට යාමක්නෙ සිද්ධ වෙන්නෙ. ඉතින් අපි වයසට යනවා කියන්නේ මරණයට ළංවෙනවා කියන දේනෙ. ඒ ලෝක ස්වභාවය. ඒක නවත්තන්න, වෙනස් කරන්න අපිට බැහැ. ඒ නිසා ඇත්තටම මම ඒ ගැන ලොකුවට හිතන්නෙ නැහැ. ඉන්න ටිකේ සතුටින් ජීවත්වෙන්න තමයි තියෙන්නෙ.
ඒ දවසට සාමාන්‍යයෙන් මොකද කරන්නේ?
ඒ දවස විශේෂයෙන් කියලා සැමරීමක් නම් සිදු කරන්නෙ නැහැ. මොකද මම ඒ දේවල්වලට කැමති කෙනෙක් නෙමෙයි. සමහරු උපන් දිනය ලොකුවට සමරනවනෙ. නමුත් මම අද වෙනකම් මගේ උපන් දිනය සමරලා නැහැ. ඒක විශේෂ දවසක් විදියට මම දකින්නේ නැහැ. අනිත් දවසක් වගේම සාමාන්‍ය දවසක් කියන දේ මගේ මතය. ඒ දවසේදි අපි සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට මෙලොවට ආපු දවසනෙ. ඉතින් ඇයි අපි ඒ දවස සමරන්නෙ කියන දේ මට හිතෙනවා. පුංචිම කාලෙදි වුණත් අපේ ගෙදර සැමරීම් සිදු කෙරිලා නැහැ. නමුත් පාසල් යන කාලෙදි නම් ඒ දවසට යාළුවන්ගෙන් බේරෙන්න බැහැනෙ. ඒ නිසා චොක්ලට්, ටොෆි වගේ දේවල් තාත්තා අරගෙන දෙනවා යාළුවන්ට දෙන්න. ඒවත් හරි සරල විදියට සිදුවුණේ.
ඒ කාලේ යාළුවන්ගෙන් තෑගි එහෙම ලැබුණද?
ඕව්. තෑගි නම් ලැබෙනවා. මම පාසල් දෙකක ඉගෙනගත්තා O/L දක්වා පාසල් ගියේ හලාවත ලිහිණිගිරි කනිෂ්ඨ විද්‍යාලයට. A/L කළේ මාදම්පේ සේනානායක විද්‍යාලයේ. ඉතින් ඒ කාලෙදි උපන්දිනය දවසට යාළුවො වගේම ගුරුවරුන්ගෙනුත් සමහර වෙලාවට මට තෑගි ලැබිලා තියෙනවා. ඒ ඉගෙනගත්ත පාසල්වල ගුරුවරුත් මට හරිම ආදරෙයි. ඉතින් ඒ මතකයන් තියෙනවා ඒ ගෙවුණු කාලෙ.
විශේෂයෙන් මතකයේ රැඳෙන උපන්දිනයක් තිබිලාම නැද්ද?
මම සැමරීම්වලට පෞද්ගලිකව අකමැති වුණත් උපන් දිනය දවසක සර්ප්‍රයිස් වීමක් නම් සිද්ධ වුණා. ඒ 2019 වසරෙදි. මගේ කැම්පස් යාළුවො ටික තමයි ඒ දේ කළේ. මගේ හොඳම යාළුවෙක් හිටියා ගයානි කියලා. ඇය තමයි මේ වැඩ කටයුත්ත සූදානම් කරලා තිබුණෙ. මට එදා බෙල්ලන්විල පාර්ක් එකට එන්න කියලා කිව්වා. ඒ එන්න කිව්වෙ කට්ටියට වැඩක් තියෙනවා කියලා. ඉතින් මමත් වැඩි දෙයක් හිතුවෙ නැහැ. එන්න කිව්වම ගියා. ගිහින් ඉද්දි අපේ යාළුවො සෙට් එකම එනවා කේක් එකක් එහෙම අරගෙන. ඒ වෙලාවෙ නම් ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා වුණ දේ ගැන. මොකද මට හොඳ රැග් එකකුත් දීලා තමයි සර්ප්‍රයිස් කළෙත්. එදා තමයි පළවෙනි වතාවට කේක් එකක් කැපුවෙත්. ඊට කලින් කේක් කපලා නැහැ. මොකද මම ඒවාට කැමති නැති නිසා. ඒ සිදුවීමත් එක්කම එදා දවසෙම අපිට රෑ වෙඩින් එකකුත් තිබුණා. ඒ ගාල්ලෙ. ඉතින් අපි කට්ටියම එදා ගාල්ලට ගියා. එහෙ ගියාමත් මාව හොඳටම නාවලා සුපිරිම විදියෙ රැග් එකක් දුන්නා. ඒ දවසෙ ඒ සිදුවීම තමයි මගේ ජීවිතේ මතකයක් විදියට තියෙන්නෙ.
යාළුවන්ගෙ ඒ ආදරේ වගේම අද වෙද්දි නිලුෂි පවන්යා කියන රංගන ශිල්පිනියට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ ආදරේ සුභ පැතුම් කොහොමද එකතු වෙන්නෙ?
මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු දෙක, තුනක් ඇති. ඇත්තටම කියන්න සතුටුයි මේ වෙද්දි මට ආදරය කරන ලොකු පිරිසක් මගේ වටා එකතුවෙලා ඉන්නවා. ඉතින් ඒ අයගෙන් මට උපන්දිනය දවසට විශේෂයෙන්ම ඒ සුභපැතුම් ආදරය එකතු වෙනවා. ඒ දේවල් නම් මම ගොඩක් සතුටින් භාරගන්නෙ. දෙසැම්බර් 5 දවසෙම වගේ ඒ සුභ පැතුම් ජංගම දුරකථනයටත්, FB හරහාත්, විවිධ විදියට සමාජ ජාලා ඔස්සේ එකතු වෙනවා. ඉතින් ඒ ආදරය ආශිර්වාදය එකතු වෙද්දි ලොකු සතුටක් වගේම ලොකු ශක්තියක්, ඒ හැඟීම විස්තර කරන්න වචන නැති තරම්. ඒ තරමටම සුන්දරයි.
නිලුෂිට විශේෂම සුභ පැතුමක් එකතු කරන කෙනෙක් ඉන්නවද?
විශේෂම සුභ පැතුමක්, තෑග්ගක් කලින් නම් එකතු වුණා. ඒත් දැන් නම් නැහැ.
ඒ ලැබුණු විශේෂ තෑග්ගක් ගැන සඳහනක් කළොත්.
ඒ ආදර කතා නම් මතක් කරන්න කැමති නැහැ. නමුත් තෑගි ගැන කිව්වොත් මගේ රාමු කරපු පින්තූරයක් දුන්නා. ඒක මතකයේ තියෙනවා.
මෙවර උපන්දිනය වෙනුවෙන්වත් යමක් කරන්න ඕනෑ කියලා යම් සැලසුමක් නැද්ද?
එහෙම ලොකු සැලසුමක් මගෙ කොහොමත් නැහැනෙ. මොරටුව ප්‍රදේශයේ තියෙනවා ළමා නිවාසයක්. ඒ තැනට ගිහින් ඒ දරුවොත් එක්ක එකතුවෙලා යම්කිසි දෙයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒත් වැඩ කටයුතුත් එක්ක මොනවා වෙයිද කියන්න බැහැ. උපන්දිනය දවසෙම ඒ දේ කරන්න බැරි වුණත් ඉතා ඉක්මනින් ඔවුන් එක්ක එකතුවෙලා යම් දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා.
නිලුෂිගෙ උපන්දිනය ගැන අම්මා තාත්තා කියලා තියෙන්නේ මොනවද?
මම ඉපදෙන්නෙ හලාවත, මුන්දලම රෝහලේ. පවුලෙ බාලයා විදියට ගෙදරට එකතු වෙන්නෙ. අයියලා දෙන්නයි අක්කයි තමයි මට ඉන්නෙ. ඉතින් ගෙදර බාලයා විදියට හැමෝගෙම ආදරේ විඳිමින් ඉන්නවා.
ධනු විජේරත්න / ඡායාරූප: සඳුන් ගමගේ