‘ආදරය’ කතා කරන්න අකමැතිම මාතෘකාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“ඊට පස්සෙ ඉතින් කාලයක් ගිහිල්ලා අපි දෙන්නා ආශ්‍රය කළා. ඒ වෙලාවේ තමයි මට තේරුණේ, අගස්ති කියන්නෙ හරිම ආදරණීය කෙනෙක් කියලා. ඉතින් ඒක එහෙම තමයි වුණේ.” මේ විදියට කියන්නෙ හිරු ටී.වී. ඔස්සේ මේ දිනවල විකාශය කෙරෙන ‘දිවිතුරා’ නාට්‍යයේ ‘වින්ඩි’ චරිතය රඟපාන නිලුෂි පවන්යා ය. වින්ඩිට අමතරව මෙගාස්ටාර් සමග හමුවන නිලුෂි පවන්යා සමග අපි මෙවර කතාබහට එක්වෙමු.

• නිලුෂි ද පවන්යා ද වින්ඩි ද වඩා හොඳ?

පවන්යා කියනවට තමයි මම වඩා කැමති.

• පවන්යා කොහොමද ජීවිතේ?

මේ දිනවල ‘දිවිතුරා’ සහ මෙගාස්ටාර් එක්ක වැඩ.

• මෙගාස්ටාර් ඇයි එන්න හිතුණෙ?

ඩාන්සින් තරගාවලියක් නිසා ආවෙ. මම නර්තනය හදාරපු කෙනෙක්. රියැලිටි ෂෝ වලට මීට පෙර ගිහින් හිටියෙ නැහැ. ඒ නිසා නර්තන පැත්ත වැඩි දියුණු කරගන්න හිතුවා. කැම්පස් එකේදි හදාරන්නෙ සම්ප්‍රදායික නර්තනයයි. ඉන් එහාට ගිහින් අලුත් අත්දැකීමක් ලබන්න ඕනෑ නිසා ඒ අභියෝගය බාරගත්තා.

• කැම්පස් මේ දිනවල වහලා නේද?

ඔව්. කොහොමටත් දැන් මම කැම්පස් යන්නෙ නැහැ. උපාධිය අරන් ඉවරයි. නර්තන අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී උපාධිය.

• උපාධිය ගත්තාට පසුව මොන වගේ හැඟීමක්ද ආවෙ?

මම මෙතෙක් ජීවිතේ වඩාත් සතුටු වූ දවස. පසුගිය වසරක පිටරට තරගාවලියකට පවා ගියාම මට ලෙක්චර්ස් මිස්වෙලා තිබුණෙ. ලංකාවට ආවත් එක්කම තමයි ෆයිනල් එක්සෑම් එක තිබුණෙ. මට යාළුවෝ හරියට උදවු කළා. ලෙක්චර්ස්වලට නොගිහිනුත් මම හොඳට ලකුණු ගත්තා කියලා සමහර ගුරුවරු කිව්වා. ඉතින් මහන්සි වෙලා, හැමදේම හරියට කරගත්ත එක ගැන සතුටුයි.

• මොන වගේ අංශයක නිරත වෙන්නද දැන් අදහස?

ඉස්සර ඉඳලාම ආසා කළේ ගුරුවරියක් වෙන්න. ඒ වගේම මගේම ව්‍යාපාරයක් කරන්නත් ආසයි. විලාසිතා හරි, ඒ වගේ දෙයක් කරන්න තමයි ආස.

• දැන් ගෙදර අය මොනවද කියන්නෙ?

මට බොහෝම උදවු කරනවා. එයාලා මා එක්ක නිතරම ඉන්නවා. මගේ වැඩවලට උදවු කරනවා. අයියලා දෙන්නයි, අක්කයි, තාත්තයි, අම්මයි, මමයි.

• පෙම්වතා මොනවද කියන්නෙ උපාධිය ගත්තට පස්සෙ?

 ආදරය කියන්නෙ මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්.

• හේතුව?

ආදරය පවතින්නෙ දෙදෙනකුගේ ගැලපීම මතයි. ඒ නිසා නොගැලපුණොත් ඒක අසාර්ථකයි. දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම් එතැන ලොකු ප්‍රශ්නයක්.

• ආදරය නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න කැමති නැහැ කියලද කියන්නෙ?

ඔව්.

• ආදරය කෙටියෙන්ම විග්‍රහ කළොත්?

දෙදෙනෙක් අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිදහසේ යායුතු දෙයක්. අපි සොබාදහම ගනිමු. එය නිදහසේ විඳින්න පුළුවන් දෙයක්. එතැන නීතිරීති නැහැ. ආදරයේදී එක රාමුවකට කොටුවෙන්න අකමැතියි. විශ්වාසය මත තමයි ආදරය විඳින්න පුළුවන් වෙන්නෙ. සොබාදහම සහ ආදරය එක විදියට තිබිය යුතුයි කියලා මම හිතනවා.

• විවාහය ගැන කොහොමද හිතලා තියෙන්නෙ?

හරි කාලය ආවාම වෙලාවට වේවි. කොහොම වුණත් මට ඕනෙ ලෝකෙට පේන්න පවුල් ජීවිතයක් ගතකරන්න නෙවෙයි. ඒකත් රඟපාන්න හෝ අපි රඟපාන චරිත කරගන්න මම කැමති නැහැ. එය සැබෑ ලෙසම තිබිය යුතු දෙයක්. ගෙදරට එක් චරිතයක් පිටට එක් චරිතයක් නොවී අපි අපට දැනෙන ජීවිතයක් ගත කළ යුතුයි. සමාජය දකින්න ඕනෙ අපේ ඇත්ත ජීවිතයයි.

• පවන්යා, අද පවන්යා ගැන හිතෙන්නෙ මොන විදියටද?

මම නිතරම කැමති නිදහසේ ජීවත් වෙන්න. බොහෝ දේ එක්ක ජීවිතය බරක් කරගෙන නැහැ. මම නිළියක්, මම නිරූපිකාවක් කියලා බාහිරව මිනිස්සු දකින්න පුළුවනි. වෘත්තියෙන් මම රංගන ශිල්පිනියක් තමයි. හැබැයි මම සාමාන්‍ය කෙනෙක්. ඒ වගේම මනුස්සකමට බොහෝම ආදරය කරන අසාධාරණයට අයුක්තියට බොහෝම අකමැති කෙනෙක්.

• සමහර කාන්තාවෝ කියන දෙයක් තමයි, එයාලට ජොබ් එකක් තියෙනවා නම් කාටවත් යටත් වෙන්න ඕනෑ නැහැ කියලා. හැබැයි පිරිමි අය එහෙම හිතන්නෙ නැහැනෙ?

ඒක ඇත්තටම ඉස්සර කාලය සහ අද වෙනස්. අපේ අදට වුණත් පිරිමි මූලික වූ සමාජ සංස්කෘතියක් තියෙන්නෙ. සංස්කෘතිය ගැන ලොකුවට කතා කරන අය, ගැහැනියකට ජොබ් එකක් තියෙන්න ඕනෑ කියලා හිතන සහ නොහිතන අයත් ඉන්නවා. ඒක එහෙම නම්, ගැහැනියකගෙන් දෑවැද්ද ඉල්ලන්න ඕනෑත් නැහැ. සමහර කාන්තාවන් ස්වාධීනව ජීවත් වෙන්න ආසයි. එහෙම හිතන අය මමත් සල්ලි හම්බ කරන්න ඕනෙ කියලා හිතන්න පුළුවන්. තමන් තනිව නැගිට ගන්න තරමේ ශක්තියක් තිබුණොත් සැමියා අහිමි වූ විට පවා ඇයට බිය විය යුතු නැහැ.

• ‘දිවිතුරා’ පවන්යාගේ කීවෙනි නාට්‍යයද?

මම රඟපාන හත්වැනි නිර්මාණය.

• මෙතෙක් රඟපෑ චරිත අතරින්, මිනිස්සු වඩාත් ඔබ ගැන කතා කළේ?

හුස්මක් තරමට නාට්‍යයේ ටීචර්ගෙ චරිතය සහ හේලි, රැස් චරිත සහ මේ දිවිතුරා නාට්‍යයේ වින්ඩිටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

• ‘වින්ඩි’ මොන වගේ චරිතයක්ද?

එයා ගායිකාවක්. ගමක ඉඳන් ඇවිත්, ප්‍රසිද්ධ ගායිකාවක ලෙස කටයුතු කරන කෙනෙක්. එයා ගැටෙන්නෙ ‘අගස්ති’ එක්ක. අගස්ති කියන්නෙ වින්ඩිගෙ පෙම්වතා.

• කොහොමද ‘අගස්ති’ ලෙස රඟපාන හෙක්ටර් ඩයස්?

හෙක්ටර් අයියා රඟපාන පළමු ඩ්‍රාමා එක. හරිම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. එයාගේ බිරිඳ එයාට හරියට උදවු කරනවා. හෙක්ටර් අයියා හරිම හොඳ කෙනෙක්.

• පවන්යාට ඇත්තටම ගයන්න පුළුවන්ද?

මට බැරිම දේ ගායනයයි.

• හෙක්ටර් ඩයස් සහ අතුල අධිකාරි මේ නාට්‍යයේ රඟපානවා. මේ දෙදෙනා ගැයූ ගී අතරින් ඔබ වඩා කැමති?

දෙදෙනාගේ ශෛලීන් වෙනස්. මේ දිනවල හෙක්ටර් අයියා කළ නිල්වන් මූදු තීරේ  වීඩියෝ එකට මම හරිම ආසයි. අතුල අයියා ගැයූ ගී අතරින්, එයා සමිතා එක්ක ගැයූ ‘සඳ තරු මල් මට දන් දුන්’ ගීතයට මම හරිම ආසයි.

• පවන්යා මුමුණන්නෙ කාගේ ගීතද වැඩිපුර?

කරුණාරත්න දිවුල්ගනේ, සුනිල් එදිරිසිංහ මහතාගේ ගීතවලට වඩා ආසයි. මෑත කාලයේදී ගායක දිනේෂ් ගමගේ ගායනා කළ ‘දැනෙනා තුරු මා’ ගීතයටත් ආසයි.

• මෙගාස්ටාර් රියසල් කරද්දි අනතුරකට මුහුණ දුන්නා නේද?

ඔව්. මාව වැටිලා ඔළුව වැදුණා. මේ ළඟදි ආයෙත් අනතුරකට මුහුණ දුන්නා. මේ විදියට අභියෝග මැදින් ඒ වැඩේට මුහුණ දෙන්නෙ. අන්තිම 16 දෙනාට තේරිලා ඉන්නෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ