My body is my journal, my tattoos are my story



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-31-ent-68

“The pain that

you’ve been feeling,

can’t compare to

the joy that’s

coming.”

 

ජීවත් වෙනවා කියන්නෙම ආශාවල් එක්ක පොරබඳින එක කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වේවි. මොකද අපිව සමහර වෙලාවට ජීවත් කරවන්නෙ ඒ ආශාවල් වගේම ඒ බලාපොරොත්තු. ඒත් සමහර ආශාවල් තිබෙනවා සමාජයට බයේ අපි යටපත් කර ගන්න. අන්න එහෙම ආශාවක් තමා “ටැටූ" කියන්නෙත්. මොකද අදටත් ලංකාවේ ටැටූ ගහලා තියෙන කෙනෙක් දිහා බලන විදිය තරමක් වෙනස්. ගොඩක් අය ටැටූ ගහලා තියෙන සහ ටැටූ ආටිස්ට්ලා දිහේ බලන්නෙ හරි අමුතු විදියට. ඒත් ටැටූ කියන්නෙත් එක්තරා කලාවක්. තමන්ට අමතක නොවන සිදුවීමක්, විශේෂ පුද්ගලයෙක්, සැමරුමක්, තමන්ගේ සිතුම් පැතුම් වගේම ඕනෑම දෙයක් සංකේතවත් කරන්න ටැටූ අඳිනවා. පිරිමි විතරක් නෙමේ කාන්තාවන් අතරත් අද මේ කලාව ජනප්‍රයයි.

ඒත් අදටත් ලංකාවේ ටැටූ කියන්නෙ පිරිමින්ගෙ කලාවක් විදියටයි බොහෝ දෙනෙක් හිතන්නෙ. කෙල්ලෙක් ටැටූ එකක් කරනවා කිව්වමත් සමහරුන්ට ගොඩක් අවුල්. ඒ වගේම කෙල්ලෙක් ටැටූ ආටිස්ට් කෙනෙක් වෙනවා කිව්වම ඊටත් වඩා අවුල්. අන්න ඒ වගේ ගොඩක් අයගේ කතා බහට ලක්වුණු ටැටූ ආටිස්ට් කෙනෙක් තමා රොඇනා වෙබ්ස්ටර් කියන්නෙත්. රොඇනා තමයි වෘත්තිමය වශයෙන් ටැටූ ආටිස්ට් කෙනෙක් වුන ලංකාවේ එකම කෙල්ල. එහෙම කිව්වමත් අවුල් ඇති. ඒත් ඒක තමයි ඇත්ත. ඒක තමයි විශේෂත්වය.

නෝට් එකට කොණ්ඩෙ කපපු, ඇඟ පුරා ටැටූ ගහගත්ත රොඇනා දිහේ කවුරුත් බලන්නෙ හරි අමුතු විදියට. අපි පුරුදු වෙලා ඉන්නවා මනුස්සයෙක් දිහේ පිටින් බලලා එක එක නිර්වචන වලට එළඹෙන්න. ඒ තමයි මිනිස්සු වන අපේ හැටි. ඒ නිසා රොඇනා කියන්නෙ කොහොම කෙනෙක්ද? මොන වගේ චරිතයක්ද? කියන කුතුහලය නිසාම මම ඇයව මුණ ගැහෙන්න තීරණය කලා.

මට තිබුණු පළවෙනි ප්‍රශ්නය තමයි අවුරුදු 23ක කෙල්ලෙක් කොහමද ටැටූ ආටිස්ට් කෙනෙක් වුනේ කියන එක.

“ මට අවුරුදු 18 ක් වෙනකන්ම ජීවත් වුනේ ඇමරිකාවෙ. ඊට පස්සෙ මම ලංකාවට ආවා. ඒ ආපු වෙලාවෙ තමයි මට ඩිමු ෆනෑන්ඩුව මුණ ගැහෙන්නෙ. මගේ ජීවිතේ වෙනස් වුනේ එතනින්. ඩිමූ තමයි මට කිව්වෙ ටැටූ ඉගෙන ගන්න කියලා. මගේ ඇඟේ ඒ කලාව තිබෙනවා කියලා. ඒත් මම ඒ දේ එතරම් ගණන් ගත්තෙ නැහැ. කවදාවත් හිතුවෙ නැහැ ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන්න. ඊට පස්සෙ මම ඉන්දියාවට ගියා. එහිදී මට විකාස් මලානි කියන ටැටූ ආටිස්ව මුණ ගැහෙනවා. මම එහෙදි එයාගෙන් ටැටූ ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට ටැටූ අටිස්ට් කෙනෙක් වෙන්න ඕන කියන ආසාව ඇති වුනා. ඊට පස්සෙ මම ආපහු ඇමරිකාවට යනවා ටැටූ ඉගෙන ගන්න. Touch of Link කියලා ටැටූ ෂොප් එකක අවුරුදු දෙකක් විතර වැඩ කලා. ඊට පස්සේ තමා ආපහු ලංකාවට ඇවිත් ඩිමූ ලඟ වැඩ කළේ. දැන් මට මගේම කියලා ටැටූ ස්ටූඩියෝ එකක් තියෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි කෙල්ලෙක් විදියට මේ ආපු ගමන ගැන.

 

“Yes I’m

Tattooed,

And Yes,

I Have

A Job”

 

2017-10-31-ent-60

 

ඇත්තටම ලංකවේ මිනිස්සුන්ට කෙල්ලෙක් ටැටූ ආටිස්ට් කෙනෙක් වෙනවා කිව්වම ඒක හරි අමුතු දෙයක්. මන් දිහේ බලන්නෙ වුනත් හරිම අමුතු විදියට. මොකද මම කොණ්ඩෙ කොටට කපලා ටැටූ ගහගෙන ඉන්න නිසා. සමහර වෙලාවට මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෙමේ. ඇත්තටම ටැටූ එකකින් කරන්නෙ තමාව ඉදිරිපත් කිරීමක්.

ඇත්තටම මම අනිත් කෙල්ලො වගේම සාමානය කෙල්ලෙක්. නමුත් මම ඒ අයට වඩා වෙනස් දෙයක් කරන කෙල්ලෙක්. ඒ වගේම මම හොඳ ආදරවන්තියක්. මිනිස්සු මොන විදියට මන් දිහේ බැලුවත් ඒ ගැන මම කණගාටු වෙන්නෙ නැහැ. මේ මගේ හැටි සහ මේ මගේ විලාසිතාව.

මට පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න හැකියාව තිබුණා. මට මතකයි තාත්තා මට ලොකු පොස්ටර් ගෙනත් දෙනවා. මම ඒවල චිත්‍ර අඳිනවා. ගොඩක්ම අඳින්නෙ සතුන්ගේ පිංතූර. ඒත් මම කවදාවත් මේ පැත්තෙන් යයි කියලා හිතුවේ නැහැ. මම ඉගෙන ගත්තෙ පයිලට් කෙනෙක් වෙන්න. ඒත් මට ඒ දේ ටික කාලයක් ඉගෙන ගනිද්දි තේරුණා එතන නෙමේ මගේ සතුට තියෙන්නෙ කියලා. මගේ සතුට තියෙන්නෙ ටැටූ වල කියලා මට තේරුණා. ඊට පස්සෙ තමයි මම ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන්නෙ. එත් අම්මා ඒ දේට කැමති වුනේ නැහැ. අම්මා කියන්නෙ ටැටූ කියන්නෙ කෙල්ලෙක්ට හොඳ දෙයක් නෙමේ. මිනිස්සු එක එක එ්වා ඔයාට කියයි, ඔයාට කවදාවත් කසාද බඳින්න බැරි වෙයි කිව්වා. අම්මා අදටත් මේ දේට විරුද්ධයි. ඒත් තාත්තගෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ”

මම හිතන්නෙ රොඇනාගේ ඇඟේ ටැටූ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇයගෙන් ඒ ගැන ඇහුවම ඇය දුන්නෙ හරි පුදුම හිතෙන උත්තරයක්.

“My body is my journal, my tattoos are my story”

“ මගේ ඇඟේ දැනට ටැටූ 50ක් විතර තිබෙනවා. මගේ අසාවක් තියෙනවා කවදා හරි බෙල්ලෙ ඉඳන් යටි පතුල දක්වාම ටැටූ කරන්න. ඇත්තටම ටැටූ කියන්නෙ තමන්ගේ ආත්මය තමන් කවුද කියලා ප්‍රකාශ කරන මාර්ගයක්. මට ජීවිතේ ගොඩක් නරක කාලයන් ඇවිත් තිබෙනවා. ඒ වෙලාවට ටැටූ එකක් කලාම මාව අලුත් වෙනවා. ඒ ප්‍රශ්නය ඉවරයි කියලා හැඟීමක් එනවා. වේදනාව කියන දේ තාවකාලිකයි. ඒ මොහොතට බය නැතිව මුහුණ දෙන එකයි අවශ්‍ය. ටැටූ කියන්නෙත් එහෙම දෙයක්”.

ඇත්තටම රොඇනා කියන්නෙ හරිම සුහදශීලී සාමාන්‍ය කෙල්ලෙක්ගෙ තිබෙන ආශාවල් තිබෙන සිම්පල් කෙල්ලෙක්. අපි මනුස්සයෙක් දිහේ පිටින් බලලා නිර්වචන දෙන එක මොන තරම් වැරදිද කියලා මට හිතුණා. ඇත්තටම රොඇනා කියන්නෙ තමන්ගෙ ආශාව ඉටු කර ගත්ත කෙල්ලෙක්. සමහර විට ඇයත් සමාජයට බයේ තමන්ගේ ආශාවල් යටපත් කර ගත්තනම් අද අපිට මේ විදියට කතා කරන්න රොඇනා කෙනෙක් නැති වේවි. ඉතිං තමන්ගේ අශාවල් ඉටු කර ගන්නවාද? නැත්නම් ඒ දේවල් යටපත් කර ගන්නවාද කියන දේ ඔබේ තීරණයක්.

( Roanna- 0778166222)

 

Text & Photography – Sarasi Nehmini

 

2017-10-31-ent-57 2017-10-31-ent-58 2017-10-31-ent-59  2017-10-31-ent-61 2017-10-31-ent-62 2017-10-31-ent-63 2017-10-31-ent-64 2017-10-31-ent-65 2017-10-31-ent-66 2017-10-31-ent-67  2017-10-31-ent-69