​මම කරන හැම නිර්මාණයකින්ම දෙයක් ඉගෙන ගන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-20-ent-86

‘සල් සපුනා’ ටෙලිනාට්‍යය තුළින් පුංචි තිරයේ රසිකාවියක වූ ඇය නමින් මිෂෙල් දිල්හාරාය. රංගනයට පිවිස කෙටි කාලයක් තුළ බොහෝ නිර්මාණ සඳහා එක්වීමට ඇයට අවස්ථාව ලැබිණි. රංගන පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තිබෙන ඇය මේ දිනවල ‘සිඳු’ ටෙලිනාට්‍යය තුළින් වෙනස් චරිතයක් ඔස්සේ පුංචි තිරයට පැමිණ තිබේ. ඒ පිළිබඳ සහ ඇයගේ රංගන කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස එකතු වූවාය.

 

මිෂෙල් මේ දවස්වල මොකද වෙන්නේ?2018-03-20-ent-88

මේ දවස්වල ‘සල් සපුනා’ ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව ‘සිඳු’ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණා. ඒකේ මම රඟපාන්නේ සුරංගනාවියකගේ චරිතයක්. ඒක වෙනස්ම චරිතයක්. ඒකට මට ආරාධනා කළේ ප්‍රදීප් අයියා. ප්‍රදීප් අයියාට සහ තිළිණ සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී මාව ඒ චරිතයට තෝරා ගත්තාට. එතකොට මගේ ‘පිච්ච මල් සුවඳයි’ ටෙලිනාට්‍යය සහ තවත් ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා.

 

‘සිඳු’ ටෙලිනාට්‍යයේ එම චරිතයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙලා තියෙනවා නේද?

ඔව්. ළඟදී තමයි ඒ චරිතය ටෙලි කාස්ට් වෙන්න පටන් ගත්තෙත්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කරනවා කියලා. මම තව උත්සාහ කරනවා ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න.

 

මිෂෙල් වෘත්තීය වශයෙන්ද රංගනයේ නියැළෙන්නේ?

ඔව් මගේ වෘත්තිය තමයි රංගනය. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් විතර ඇති. මගේ මුල්ම නිර්මාණය තමයි ‘සල් සපුනා’ කියන්නේ. ඒ ආපු ගමන තමයි තවමත් ඉන්නේ.

 

මිෂෙල් රංගනයට ඇවිත් පොඩි කාලයක්. හැබැයි හරිම ඉක්මනට ඔබ ජනප්‍රිය වුණා. ඒක වාසනාවද?

ස්තුතියි මට ඒ වගේ ජනප්‍රියත්වයක් තියෙනවා කිව්වාට. හැබැයි මම හිතන්නේ නැහැ මම ජනප්‍රියයි කියලා. ජනප්‍රියත්වය කියන්නෙ ජනතාව මාව හඳුනා ගැනීම. මම හිතන්නේ මම තවම ඒ තැනට ඇවිත් නැහැ. මම ඉන්නේ තවම ඒ මුල් පියවරවල විතරයි. මම උත්සාහ කරනවා මම කරන නිර්මාණ තුළින් ජනතාව අතරට යන්න.

 

ඔබ එහෙම කිව්වට ඔබ පිළිබඳ සමාජ ජාලා මාධ්‍ය තුළ නිතර කතා වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මම හිතන්නේ ඔය ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ මගේ අලුත් චරිතය ගැන වෙන්න ඇති. ඇත්තටම ඒ චරිතය දැකලා ගොඩක් දෙනා කතා කළා. ඒක වෙනස් චරිතයක් නිසා වෙන්න ඇති. සුරංගනාවියකගේ චරිතයක් සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා වෙන්න ඇති සමාජ මාධ්‍යයවල මං ගැන කතා වෙන්නෙ.

 

අලුත් නිර්මාණය ගැන කතා කරමු?

අලුතෙන් තව ටෙලිනාට්‍ය 04ක් එන්න තියෙනවා. ඒවා තවම ටෙලි කාස්ට් වු‍ණේ නැහැ. එතකොට මම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා ‘ඒමී’ ටෙලිනාට්‍යය, ‘පූරි’ ටෙලිනාට්‍ය. තව ‘තුත්තිරි’ සහ ‘පිච්ච මල සුවඳයි’ කියන නාට්‍යයත් එක්ක ඒ හතරෙම වැඩ කරනවා. ඒ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

සිනමාවට එන්න ආසාවක් නැද්ද?

ආසාවක් සහ අදහසක් තියෙනවා. මට ආරාධනාවකුත් ලැබුණා. සංජය නිර්මාල් සර්ගේ චිත්‍රපටයක්. ඒකේ රූගත කිරීම් පටන් ගන්නේ කවද්ද කියලා තවම කියලා නැහැ. මම සිනමාව පැත්තටත් එන්න බලාපොරොත්තු වෙනවා.

 

කෙටි කාලයක් තුළ මේ ආපු දුර ගමන ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම සතුටුයි. ඒ වගේම ගොඩක් තෘප්තිමත්. මම ආපු ගමන ගැන මට යම් දෙයක් දැනෙනවා. මම පටන් ගත්තු මුල, එතකොට දැන් වැඩ කරන විදිය ගැන ලොකු සතුටක් තියෙනවා. මම තවම මේ ක්‍ෂේත්‍රයට අලුත්. ඒත් මම යම්කිසි සාර්ථකත්වයක ඉන්නවා කියලා පේනවා. මට ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම කරන හැම නිර්මාණයකින්ම මම දෙයක් ඉගෙන ගන්නවා. මම ඉතා හෙමින් ගමනක් යන්නේ. ඒත් ඒ ගමන ගොඩක් දුර යන්න පුළුවන් කියලා හිතෙනවා.

 

ප්‍රවීණයන්ගෙන් නවකයන්ට සහයෝගයක් ලැබෙනවාද?

අනිවාර්යයෙන්ම ලැබෙනවා. මගේ මුල්ම නිර්මාණය වන ‘සල් සපුනා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා සහ මම වැඩ කරපු නිර්මාණවල අධ්‍යක්‍ෂකවරුන් ගොඩක් ලොකු සහායක් දෙනවා. විශේෂයෙන් නාලන් මෙන්ඩිස් සර් ගොඩක් උදව් කරනවා. නාලන් මෙන්ඩිස් කියන්නේ දශක ගණනාවක ඉඳලා ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් බිහි කරපු කෙනෙක්. එතකොට සංජය නිර්මාල් සර් සහ සමන් කුමාර ලියනගේ සර් මට ගොඩක් උදව් කළා මගේ චරිතය හදාගන්න සහ රංගනය ගැන. ඊට අමතරව දමිතා අබේරත්න අක්කා, සනාලි අක්කා, සංගීත් මේ හැමෝම මට ගොඩක් උදව් කළා. හැමෝගෙන්ම ලොකු සහායක් ලැබෙනවා.

 

නවකයෙකු විදියට ඔබට ක්‍ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවාද?

ඔව්. අපි යන ගමන ගැන අපි දන්නවා නම් සහ අපි හැමෝම එක්ක හොඳින් ඉන්නවා නම් මම හිතනවා ස්ථාවරයක් හදාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ‘මම හොඳයි, මට විතරයි පුළුවන්’ කියලා හිතන්නේ නැතුව හැමදේම ඉගෙන ගෙන හැමෝටම උදව් කරගෙන සහයෝගයෙන් හිටියොත් මේ ක්‍ෂේත්‍රයේ තැනක් හදාගන්න පුළුවන්.

 

ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

මගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි කවදාහරි මගේ චරිත තුළින් මිනිස්සු තුළට ගිහින් එයාල තුළ ජීවත් වෙන චරිතයක් වෙන එක. ඒක කරන්න නම් මම කරන දේවල් හොඳ දේවල් වෙන්න ඕන.

 

Dilan Chryshantha / Pix - Sandun Gamage

 

2018-03-20-ent-84 2018-03-20-ent-85  2018-03-20-ent-87