හොඳ රංගන ශිල්පිනියක් වෙන්නයි බලාපොරොත්තුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-545

දෙරණ අවුරුදු කුමරිය හරහා කලා ක්ෂේත්‍රයට පෑයූ නවක තාරකාවක් ලෙස කස්තුරි ජයවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය සක්කාරං ටෙලි නාට්‍ය සහ හුස්මක් තරමට නාට්‍යයේ කැපීපෙනෙන චරිතයන් නිරූපණය කළා. තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන කස්තුරිව අප සාරවිටට සම්බන්ධ කරගන්නට සිතුවා.

2019-09-17-ent-547

කස්තුරි මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

සක්කාරං නාට්‍යයේ වැඩ ඉවර වුණා. හුස්මක් තරමට නාට්‍යයේ සහේලි චරිතයත් සමග තමයි මේ දවස්වල වැඩ කරගෙන යන්නේ. සංසාරිනී ඇතුළු මියුසික් වීඩියෝස් කිහිපයකටත් මේ දවස්වල සම්බන්ධ වුණා. කැම්පස් එකෙත් ස්ට්‍රයික් එක නිසා ඒවත් නිවාඩුනේ. ඒ නිසා ගොඩක් වෙලාවට ගෙදර තමයි ඉන්නේ.

 

ඔබ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?

දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහා තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මාස පහක් විතර වෙන්නේ.

 

මේ කාලේට ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

ඇත්තටම මේ පොඩි කාලේට ලොකු අත්දැකීම් රැසක් ලැබුණා. දැනට මට එකතු වෙන්න ලැබුණේ ටෙලි නාට්‍ය දෙකකට විතරයි. ඒ දෙකේම වැඩ කරද්දි නවක ප්‍රවීණ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. හොඳ යාළුවෝ හමුවුණා. හිතුවෙවත් නැති විදිහට මම දැන් තැනක ඉන්නවා කියලා තේරෙනවා. ඉගෙනගන්න ගොඩක් දේවල් ලැබුණා. එනකොට හිටපු තැන නෙවෙයි දැන් ඉන්නේ කියලා තේරෙනවා.

 

අධ්‍යාපන කටයුතු සමග කලාව සමබරව කරගෙන යන්න පුළුවන්ද?

ඔව්. මම හැමදේම සමබරව කරගෙන යනවා. ගැටළු ඇතිවෙන අවස්ථා අඩුයි. කැම්පස් එකේ යාළුවොත් මට උදව් කරනවානේ.

 

සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබිලා නැද්ද?

ආරාධනාවක් ලැබුණා. නමුත් මම ඒකට හරියට පිළිතුරක් දුන්නේ නැහැ. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට.

 

කලාව පැත්තෙන් තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

ලොකුම බලාපොරොත්තුව තමයි දක්ෂ හොඳ රංගන ශිල්පිනියක් වෙන්නයි.

 

ජීවිතයේ සැබෑ කරගන්න ආස හීනයක් තියෙනවාද?

මගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගෙන රංගනය පැත්තෙනුත් ලොකු දුරක් යන එක තමයි මගේ හීනය.

 

කැමැත්තෙන් කරන්න ආස චරිතයක් තියෙනවාද?

මට කරන්න ලැබෙන හැම චරිතයටම මම ආසයි. එහෙම විශේෂ චරිතයක් නැහැ. මට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම බාර ගන්නවා.

 

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම කොහොමද?

තාම මම ගොඩක් නිර්මාණවලට දායක වෙලා නැහැ. ඒත් ලැබුණු නිර්මාණ දෙකටම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය නම් පාරේදි දැක්කත් කතා කරනවා. එතකොට ලොකු සතුටක් දැනෙනවා.

 

කලාව පැත්තෙන් ඉස්සරහට යද්දි ඒ පිළිබඳව ඉගෙනීම වැදගත් වෙනවා නේද?

ඔව්. මේ ක්ෂේත්‍ර දෙකටම ඒ ගැන ඉගෙනීම වැදගත්. යාළුවොත් කියනවා දැන් වැඩමුළුවලටත් යන්න කියලා. කොහොමත් මම ඉදිරියේදී රංගනය ගැනයි නිරූපණය ගැනයි හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදි නම් බයක් දැණුනා ප්‍රවීණයෝ ආශ්‍රය කරන්න. නමුත් ඔවුන් අපිට ඉතා සුහදව කතාබහ කරනවා. ඔවුන්ගෙන් ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා. අළුත් පරණ කියලා භේදයක් එයාලා ඇතුළේ නැහැ.

 

විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිස කවුද?

අම්මා තාත්තා ඇතුළේ පවුලේ අයව මතක් කරනවා. මට ක්ෂේත්‍රයේදී උදව් කරපු අයවත් මතක් කරනවා. මට වචනයකින් හරි උදව් කරපු ප්‍රේක්ෂකයන්ටත් මම ස්තූතියි කරනවා.

 

සාකච්ඡා - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-09-17-ent-544  2019-09-17-ent-546