'හීන හොයන සමනල්ලු' චිත්‍රපටයේ මම 'අනූ' කියන චරිතය සිදු කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-97

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හා නට්‍යය හා රංගකලා පශ්චාත් උපාධිය නිමකරන ඇය, භරත නර්තන ගුරුවරියකි. ඇය කෝසලා මැද්දේගොඩය. මේ වනවිට තිරගත වන ‘හීන හොයන සමනල්ලු’ සිනමා නිර්මාණය තුළින් ඇගේ රංගනය දැකගත හැකිය.

 

කලා ක්ෂේත්‍රයට යොමු වීම ගැන මුලින්ම කතා කරමු?

2017-10-04-ent-98මම කුඩා කාලේ සිටම නර්තන විෂය හදාරන්න යොමු වුණා. අරගේත්‍රම් සිදු කළා. මම කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ පසුවත්, නර්තනය ගැන හදාරන්න යොමු වුණා. පසුව අරකාවිල නර්තන හා නාට්‍යය පදනමට සම්බන්ධ වී භරත නාට්‍යය ගුරුවරියක් ලෙස කටයුතු කළා. අරකාවිල නර්තන හා නාට්‍යය පදනමේ ‘පටාචාරා’ නිර්මාණයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයත් එක්ක මට රංගනය ගැන වැඩි දුර හදාරන්න කැමැත්තක් ඇති වුණා. ඒ නිසා මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලා පශ්චාත් උපාධියත් නිමකළා. ‘රංගනයෙන් පදනම’ මගින් කළ නිර්මාණවලට මම සම්බන්ධ වුණා. පසුව සුනිල් ආරියරත්න සර්ගේ ‘කුස පබා’ චිත්‍රපටයේ ගැමි කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. මම රංගනයෙන් දායක වන දෙවන සිනමා නිර්මාණය තමයි ‘හීන හොයන සමනල්ලු.’

 

ඔබේ දෙවන සිනමා රංගනය ගැන කතා කළොත්?

‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ මම ‘අනූ’ කියන චරිතය සිදු කරන්නේ. තමන්ගෙ සහෝදරියට එන ප්‍රශ්න හමුවේ ඇය සමගම සිට ඇයට දිරියක් වන චරිතයක් තමයි මම එහි නිරූපණය කරන්නේ.

 

නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කළ ඔබ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීම ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?

මම වේදිකාව තුළ නර්තනය සිදුකර තිබුණත්, මට වේදිකාව තුළ දෙබසක් කියන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙ නැහැ. මට නර්තනය තුළින් යම් දුරක් යන්න ලැබුණා. නර්තනය සම්බන්ධයෙන් ස්කොට්ලන්තය, ජපානය, ඉන්දියාව (චෙන්නායි බොම්බායි, බැංගලොර්) හි වැඩමුළුවලට සහභාගි වුණා. ඒ වගේම ඇකඩමියෙන් සිදු කළ රුසියන් හා එංගලන්ත ශිල්පීන් සහභාගි වූ නාට්‍යය වැඩමුළුවලටත් මට දායක වෙන්න හැකියාව ලැබුණා.

රංගනයට දායක වෙන පසුබිම නිර්මාණය වුණේ නාට්‍යය පන්තිවලට සහභාගිවීම සහ අපේ පදනමේ නාට්‍යය ආචාර්යය අනුරද සිල්වා ගේ සහයෝගය මත. ජානකී හිල් මහත්මිය ‘පටාචාර’ නෘත්‍යය නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තා. පසුව ‘සකල කසළ’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක මෙයට හුරු වුණා.රංගනයට පිවිසෙනවා නම්, එය ප්‍රායෝගිකව හදාරා පැමිණිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

 

ඉදිරියේ දී රංගන ශිල්පිනියක් ලෙස මොනවද තිබෙන බලාපොරොත්තු?

මේක හෙමින් ආව ගමනක්. නර්ත අංශයෙන් යම් දුරක් ගිහින් තිබෙනවා. රංගනය පැත්තෙන් කතා කළොත් මේ වනවිට චිත්‍රපට තුනකට ආරාධනා ලැබී තිබෙනවා. මම කැමතියි සිනහාව හෝ වේදිකාව හෝ ටෙලි නාට්‍යය යන මාධ්‍යවල ගුණාත්මක නිර්මාණයකට දායක වෙන්න.

 

මතක් කළ යුතු පිරිස ගැන කතා කළොත්?

‘අරකාවිල’ නර්තන හා නාට්‍ය පදනමේ ජානකී හිල්මහත්මිය විශේෂයෙන් මතක් කළ යුතුයි. නිර්මාණවලට දායක වෙන්න ඉඩ ලබාදෙනවා. ඒ වගේම මගේ තාත්තා මාව කලාවට යොමු කළා. මගේ නංගි ‘පටාචාරා’ චරිතය නිරූපණය කළේ, ඇය රුක්ෂලා මැද්දේගොඩ මතක් කළ යුතුයි. ඒ වගේම පීටර් හිල් සර් සහ අපේ පදනමේ සියලු දෙනාවම හා ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයට ආරාධනා කළ එහි සහය අධ්‍යක්ෂක දමින්ද මඩවල හා රොහාන් අයියා මතක් කළ යුතුයි.

 

රංගන මදුසංඛ

 

2017-10-04-ent-96