හිතේ සතුට තියෙනවා නම් හැමදාම අවුරුදු තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-01

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දුටු ගීතිකා රාජපක්ෂ තරුණ පරපුර අතර නිරන්තරයෙන්ම කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයම දකින ඇයගෙන් "සාරවිට" අපි වෙනස්ම ප්‍රශ්න කිහිපයක් මෙසේ යොමු කළා.

 

ගීතිකාට අවුරුදු ජයද?2019-04-11-ent-03

අවුරුද්දට නම් තාම ලැහැස්ති වුණේ නැහැ. මොකද, පසුගිය ටිකේම විවිධ කලා නිර්මාණ නිසා කාර්යබහුල වෙලා හිටියා. මේ සැරේ අවුරුද්ද හොඳ වෙයි කියලා හිතනවා. මොකද, මගේ පවුලේ අයත් එක්ක දින කිහිපයක්ම ඉන්න තීරණය කරලා තියෙන නිසා.

 

පසුගිය අවුරුදුවලට වඩා මෙවර අවුරුදු සමයේ ඔබ ගොඩක් කාර්ය බහුලද?

කලින් අවුරුදුවල නම් මේ කාලේට ගොඩක් රූපගත කිරීම් කටයුතු තිබුණෙ නැහැ. මගේ ගම පොල්ගහවෙල. හැම අවුරුද්දකම අප්‍රේල් 12 වැඩ ඉවර කරලා ගමේ යනවා. ඊට පස්සේ සතියක් විතර ගමේ ඉන්නවා. නමුත්, මේ වසරේදී ගමේ ගිහිල්ලා වැඩි කාලයක් ගත කරන්න බැහැ. මොකද, 16 වැනිදා ආයෙත් රූපගත කිරීම් යෙදිලා තියෙනවා. ඒ හින්දා දින කිහිපයක් පවුලේ අය සමග ඉන්න තියෙන කාලය අඩු වෙලා තියෙනවා.

 

ගීතිකාට දැනෙන විදිහට අවුරුදු තියෙන්නේ ගමේද? නගරේද?

ගමේ තමයි අවුරුදු වැඩිපුරම තියෙන්නේ. ඒ වුණාට හිතේ සතුට තියෙනවා නම් කොහේ වුණත් අවුරුදු තියෙනවා කියලයි මම හිතන්නේ.

 

තියෙන ආර්ථික අපහසුකම් මැද අද මිනිස්සුන්ට අවුරුදු සමරන්න පුළුවන්ද?

මිනිස්සුන්ට කොච්චර ආර්ථික අපහසුකම් තිබ්බත් අවුරුද්ද කියන දේ මහ ඉහළින් සමරනවා. අපි පුංචි කාලේ සිංහල අවුරුද්ද එනවා කිව්වාම ලොකු සතුටකින්නේ ඉන්නේ. ඒ සතුට දැන් නැති වෙලා ගිහින් කියලා හිතෙනවා. ඉස්සර නම් ජනවාරි ලැබුවාම අප්‍රේල් වෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ අවුරුද්ද එනකම්. මාර්තු අග වෙන කොට කොහා කෑගහනවා. අද ඒ තත්ත්වය දකින්නේ නැහැ. මිනිස්සු විතරක් නෙවෙයි, පරිසරය පවා අද වෙනස් වෙලා. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. බඩු ගණන් ගිහින්. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අද අවුරුදු කාලේ එනවා කියන්නේ හිසට අමතර බරක් වැටෙනවා කියන එක.

 

අවුරුදු කාලේට පවුලේ අය එකතු වුණාම ජන ක්‍රීඩා වගේ දේවල්වලට පෙළෙඹෙනවාද?

මගේ අක්කා ඉන්නේ කඩවත. නංගියි, මල්ලියි ඉන්නේ ගමේ. අම්මා, තාත්තා එක්ක අපි හැමෝම එකට ඉන්න දවසට ගොඩක් කරන්නේ කතා කරන එක තමයි, එකිනෙකාගේ විස්තර බෙදාහදා ගන්නවා. නැත්නම් කට්ටියම කොහේ හරි ගිහින් උපරිම විනෝද වෙනවා. ජන ක්‍රීඩා වගේ දේවල්වලට යොමු වෙන්න තියෙන කාලේ නම් ඉතින් ගොඩක් අඩුයි. මොකද, හැමෝම ඉන්නේ කාර්ය බහුල වටපිටාවක. මම දකින විදිහට ඒකට හේතුව රූපවාහිනිය. ගෙදරකට ගියාම ඉතින් අපි හැමෝම එකතු වෙන්නේ රූපවාහිනිය ඉදිරිපිටනේ. අපිව දැන් ඒ දේවල්වලින් දුරස් කරලා තියෙන්නේ රූපවාහිනිය.

 

බුද්ධික සේනාධීර ඡායාරූප - සජීව ලක්ෂාන්

 

2019-04-11-ent-05 2019-04-11-ent-04 2019-04-11-ent-02