හැමදාම මම ප්‍රවීණයන්ට ගරු කරන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-226

"රණවිරු ස්ටාර්" රියලිටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි අයෝමි පෙරේරා සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. මේ දිනවල සිය අලුත්ම ගීතයේ වැඩ නිමකරමින් සිටින අයෝමි එය තවත් මසකින් සිය රසික පිරිස් වෙත ලබාදීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය පැවසීමට අපි "සාරවිට" සමග මෙලෙස එක්වූවාය.

 

මේ දිනවල අලුත් නිර්මාණයට මහන්සි වෙනවා කියන්නේ ඇත්තද?

2017-03-16-ent-229ඔව්, "ඔබ තුරුලේ" හා "අප හමුවුණ දා" ගීතවලින් පස්සේ අලුත් ගීතයක් රසිකයන්ට දෙන්න හොඳ කාලය මේක කියලා හිතුවා. ඉතින් අලුත් ගීතයට මේ දිනවල සූදානම් වෙනවා. ගීතයේ නම තමයි "වැස්ස තුරල් වනතුරු", මේක ආදර ගීතයක්. ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව. සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ. දැනට මේ ගීතයේ ඕඩියෝවේ වැඩ ඉවර කරලා තියෙන්නේ. අදහස් කරමින් ඉන්නවා මෙහි වීඩියෝවත් සමගින්ම ගීතය එළිදක්වන්න.

 

මේ ගීතයට අමතරව තවත් ගීත කිහිපයක් ඔබේ එන්න තියෙනවා නේද?

හර්ෂ උඩකන්ද නිර්මාණය කළ "ෆේස් ටු ෆේස්" චිත්‍රපටයේ පසුබිම් ගීත දෙකක් මා ගායනා කළා. ඉන් එකක් යුග ගීතයක්. තව "දාස් පෙතියා" කියලා ටෙලි නාට්‍යයක තේමා ගීතයක් ගායනා කළා. ඒ ටෙලි නාට්‍යයත් තවම විකාශය වුණේ නැහැ.

 

"රණවිරු ස්ටාර්" ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරිද?

ඔව්, 2012 වසරේ තිබුණ "රණවිරු ස්ටාර්" තරගයේ ජයග්‍රාහිකාව වීමත් සමග මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වුණා. කාලයක ඉඳලා මගේ හිතේ තිබුණ ලොකුම හීනේ තමයි ගායිකාවක් වෙන එක. ඒ හීනේ සැබැ වුණේ "රණවිරු ස්ටාර්" ජයග්‍රාහිකාව වීමත් එක්ක. මේ ජයග්‍රහණයත් එක්ක මට වටිනා නිවසක් ලැබුණා. ඊට පස්සේ ප්‍රසංග වේදිකාවලට ඇරයුම් ලැබුණා. ඒ වගේම විදෙස් සංචාර බොහෝමයකට සහභාගි වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ගිය සතියේ ඩුබායිවල ප්‍රසංගයකට සහභාගි වුණා. ඇත්තටම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය මේක කියලා මට හිතෙනවා.

 

රියලිටි තරග අතර "රණවිරු ස්ටාර්" කියන්නේ වෙනස්ම තරගාවලියක්?

ඔව්, මෙම තරගයට එකතු වෙන්නේ රණවිරුවන් පමණයි. "රියලිටි" තරග ගොඩක්ම බිහිවුණාට පස්සේ තමයි "රණවිරු ස්ටාර්" පටන් ගත්තේ. මේ තරගය අනෙකුත් තරග එක්ක ගත්තොත් වෙනස්ම එකක්. මොකද, මේ තරගය යම් විනයක් සහිතව පැවැත් වුණ තරගයක්. අපි ගීත තෝරගත්තේ පවා සමාජයට යම් වැදගත් පණිවුඩයක් දෙන ගීත. අනික අපි නිල ඇඳමෙන් තමයි මෙහි ගීත ගායනා කළේ. ලැබෙන එස්.එම්.එස්. පණිවිඩ පවා විනිවිදභායකින් තොරව අපිටත්, අපේ නිලධාරින්ට දැනගන්න සලස්සවනවා. ඉතින් මම දැකපු වෙනස්ම රියලිටි තරගාවලියක් තමයි මේක.

 

නවකයන් ප්‍රසංග වේදිකාවෙදි අනුන්ගේ ගීත ගායනා කරනවා කියලා වර්තමානයේ සමහර අයට චෝදනා තියෙනවා?

ඔව්, මමත් ප්‍රවීණ ගායිකාවන්ගේ ගීත ගායනා කරනවා ප්‍රසංග වේදිකාවෙදි. නමුත්, අද වනතුරු එහෙම චෝදනා ලැබිලා නැහැ. මම ගොඩක්ම ප්‍රවීණ ගායක, ගායිකාවන්ට ගරු කරන කෙනෙක්. ප්‍රසංගයකදී ඔවුන්ගේ ගීතයක් ගායනා කරනවා නම් මම මුලින්ම කරන්නේ ඒ කෙනාව මතක් කරන එක. අපිට ඔවුන් වගේ වෙන්න බැහැ. ඔවුන් අපිට වඩා දක්ෂයි. මම එහෙම ඔවුන් අනුකරණය කරමින් ගීත ගායනා කරන්නේ නැහැ. මට පුළුවන් විදිහට ඔවුන්ගේ ගීත ගායනා කරමින් රසිකයෝ පිනවන එක තමයි කරන්නේ. ඉදිරියේදී මගේම ගීතවලට ප්‍රසංග වේදිකාව තුළ තැනක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

 

"රණවිරු ස්ටාර්" තරගයේ ජයග්‍රාහිකාව වීමෙන් පස්සේ ගෙවුණු මේ වසර කිහිපය දෙස ආපසු හැරිලා බැලුවොත්?

පෙර පිනකට තමයි මම අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ගායිකාවක් විදිහට අද වනවිට මාව බොහෝ දෙනෙකු අඳුනනවා. ප්‍රසංග වේදිකාවට පිවිසුණහම පවා ලැබෙන රසික ප්‍රතිචාර ඉතා ඉහළයි. දේශීය වගේම විදෙස් රටවලදී පවා මගේ ගීතවලට ආස කරන පිරිස් ඉන්නවා කියලා දැක්කාහම නිහතමානී සතුටක් මා තුළ ඇති වෙනවා. මේ ගෙවුණු වසර පහ තුළ මා ගායන ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් ආවා කියලා හිතනවා.

 

2017-03-16-ent-222 2017-03-16-ent-228 2017-03-16-ent-227  2017-03-16-ent-225 2017-03-16-ent-224 2017-03-16-ent-223