හැම දෙයක්ම මම තෝරා බේරාගෙන කරන්නේ
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "නෙතු" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන දිනූෂා සිරිවර්ධන මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි දිනූෂා, මේ වනවිටද නිරූපණ කටයුතුවල නිරතවන්නීය. සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව සිය අදහස් අපට මෙසේ දැක්වුවාය.
"නෙතු" ටෙලි නාට්‍යයේ නෙතුට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ටෙලි නාට්‍යය විකාශය වුණ මුල් කාලයේදී නම්, එතරම් රසික ප්‍රතිචාර ලැබුණෙ නැහැ. නමුත්, දැන්නම් බොහෝ දෙනෙක් මාව හඳුනනවා. පාර තොටේදී මාව හඳුනගත්තොත් බොහෝ දෙනෙක් ඇවිල්ලා කතාබහ කරනවා.
"නෙතු" කියන්නේ දිනූෂාගේ පළමු රංගනය?
ඔව්, හැබැයි "නෙතු" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා මට ගොඩක් නිර්මාණවලට කතා කළා රඟපාන්න. නමුත්, තිබුණ බයත් එක්ක ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. රඟපාන්න ගොඩක් කැමතියි මම. ඒත්, දෙබස් කියන කොට වැරදි සිදුවෙයි කියන බය මට තිබුණා. ඒ නිසා තමයි ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කළේ. "නෙතු" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ, මම දන්න අයියා කෙනෙකුගේ මාර්ගයෙන්. මුල්ම දර්ශනය ගන්න කොටත් මම ලොකු බයකින් හිටියේ දෙබස් කියන කොට වැරදි සිදුවෙයි කියලා. ඒත්, මගේ බය නැතිවුණා. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම හොඳ අය. එක දර්ශනය තුන්හතර පාරක් රූපගත කළා. දෙබස් කියන කොට කිහිප වතාවක් මට වැරදුණ අවස්ථා තිබුණා. නමුත්, හැමෝම ඉතා සුහදශීලිව වැඩකළා මාත් එක්ක. විශ්ව අයියා, නිපුනිකා හා චමිලා අක්කා මට ගොඩක් උදවු කළා.
දිනූෂා කියන්නේ වෘත්තියෙන් නිරූපිකාවක්?
ඔව්, නිරූපණ ක්ෂේත්රයට ආවේ 2012 වසරේදී. දැනටත් මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩකරනවා. රඟපාන්න වගේම නිරූපණයටත් මම ගොඩක් කැමතියි. ඉදිරියේදී රංගනයට යොමුකරන කාලයට සමාන කාලයක් නිරූපණය පැත්තටත් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.
වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකත් දිනූෂාව අපි දැක්කා?
ඔව්, දැනට වෙළෙඳ දැන්වීම් 10ක් විතර කරලා තියෙනවා. ඒ අතරින් "සෙලාන් බැංකුව", "ලෙමන් ෆොප්" කියන දැන්වීම් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. වෙළෙඳ දැන්වීම්වලට අමතරව ගීත රූප රචනාවලටත් මම පෙනී ඉඳලා තියෙනවා. නමුත්, මේ හැමදෙයක්ම මම බාර ගන්නේ තෝරා බේරාගෙන.
තෝරා බේරා ගන්නවා කිව්වේ?
විශේෂයෙන්ම නිර්මාණයේ තියෙන ගුණාත්මක භාවය ගැන හිතනවා. ඊට අමතරව ඒ නිර්මාණයේ දී මම අඳින පලඳින දේවල් ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඕෆන් කොස්ටියුම් වගේ දේවල් මම අඳින්නේ නැහැ. මම නිරූපිකාවක් විදිහට දැන් වසර පහක් විතර වැඩකරනවා. තවමත් මම භාරගෙන කටයුතු කරන්නේ "බ්‍රයිඩ්ල්" කොස්ටියුම් විතරයි. රංගනය පැත්තෙන් වුණත් මම ගොඩක් වෙලාවට මට ලැබෙන චරිතය ගැන ලොකුවට හිතන කෙනෙක්.
පුංචි කාලේ නම් කලා කටයුතුවලට වැඩිය කැමැත්තක් තිබුණේ නැහැ නේද?
ගොඩක් දුරට කළේ ස්පෝර්ට්ස්. ඒ නිසා කලා කටයුතුවලට නැඹුරු වුණේ අඩුවෙන්. ඒත්, පුංචි කාලේ ඉඳලා මට නිළියක් වෙන හීනයක් තිබුණා. ඒ හීනේ සඵල කරගන්න තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ. කාලයත් එක්කම මට රඟපාන්නත් අවස්ථාව ලැබුණා.
නිළියක්, නිරූපිකාවක් වුණාට ගෙදරින් තියෙන සහය කොහොමද?
අම්මා ගොඩක්ම කැමතියි මම මේ වෘත්තියේ නියැලෙනවට. ඊට අමතරව මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. තාත්තා ජීවතුන් අතර නැහැ දැන්. ඉතින් හැම වෙලාවෙම ඔවුන්ගේ ඇස්දෙක වගේ මාව ආරක්ෂා කරනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - සජිව ලක්ෂාන්