හැන්දෑවට මම හිටියෙ පොලීසියේ
සමාධි.. මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල මම රාජිත දිසානායකගේ හිතලා ගන්න තීරණයක් කියන වේදිකා නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. මේ දවස්වල ඒක වේදිකාගත වෙනවා. ඊට අමතරව මගේ රැකියාවේ වැඩ කටයුතු කරමින් තමයි කාලය ගෙවෙන්නෙ.
නිළියක් වීම සමාධි පුංචි කාලේ ඉඳන් ආස කරපු හීනයක්ද..?
නැහැ. මගේ හිතේ කොතැනකවත් නිළියක් වෙන්න හීනයක් තිබුණෙ නැහැ. අඩුම තරමේ රංගනය හදාරන්නවත් මගේ හීනයක් තිබුණෙ නැහැ. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමඟ ඒ හැමදේම වෙනස් වුණා.
ඔබ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
මගේ ප්‍රධාන විෂය වෙලා තිබුණෙ නර්තනයයි. ඒ නිසා නර්තන ගුරුවරියක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් ඒ හැමදේම වෙනස් කරලා විශ්වවිද්‍යාලයේදී මම රංගනය හැදෑරුවා. මම ඉගෙන ගත්තෙ ඇඹිලිපිටිය ජාතික පාසලෙන්.
ඇඹිලිපිටියේ ගෙවුණු සමාධිගේ ළමා කාලය කොහොමද..?
මම ගෙවපු ළමා කාලය අද දරුවන් ගෙවන ළමා කාලයට වඩා ගොඩක් වෙනස්. මගේ තාත්තා රැකියාව කළේ පොලීසියෙ. අම්මත් රජයේ රැකියාවක් කළා. මම පවුලේ දෙවැනියා. මගේ පවුලේ ගැහැනු ළමයින්ම පහක් ඉන්නවා. තාත්තා පොලීසියේ රැකියාව කරපු නිසාම අපේ ළමා කාලය වැඩිපුරම ගෙවුණෙ පොලීසියෙ. බොහෝවිට හවස්වරුව අපි පොලීසියේ තමයි ගත කළේ. ඒ නිසා ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න වෙලා දුක්ගැනවිලි කියාගෙන අවුල් මානසින් ආපු ගැහැනු පිරිමි බොහොමයක් මම දැකලා තිබුණා. සමහර කතා මම අහගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ මගේ වයසත් එක්ක ඒ ඇතැම් ප්‍රශ්න මට තේරුණේ නැතිවුණාට මම අහගෙන ඉඳලා තියෙනවා. සමහර ඒවා කියද්දී තාත්තා අපිට ළඟපාතකවත් ඉන්න දෙන්නෙ නැහැ. අපි නිදහසේ හැදුණෙ. අපිට කිසිම තහංචියක් තිබුණෙ නැහැ. අම්මා තාත්තා කිසිම දෙයකදී අපිට කරන්න එපා කියලා නැහැ. පුංචි කාලේ අනිත් හතරදෙනාත් එක්ක බලද්දී මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්. හැබැයි මටයි මගේ නංගිලා දෙන්නටයි නැටුම් ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇතිවුණා. ඒ නිසා අම්මලා ඒවාට අපිට හරියට උදව් කළා.
ඇඹිලිපිටියෙ ඉඳන් ඔබ කොළඹ ආවෙ කොයි කාලෙදිද..?
මම නර්තනයට ආස නිසාම විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නකොට විශ්වවිද්‍යාලයට එන්න කලින්ම ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹට නැටුම් පන්තියකට ආවා. ඒක තිබුණෙ සති අන්තයෙ. ඉතින්.. මම අවුරුදු දෙකක් නැටුම් විෂය හැදෑරුවා. තාත්තා හැමවෙලේම අපිට කිව්වෙ ගෑනු ළමයි පහක් නෙමේ, කොල්ලො පහක් තමයි හදන්න ඕන කියලා. ඊටපස්සෙ මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. අවුරුදු ගාණක් නර්තනය ඉගෙනගෙන තිබිලත් මම කැලණිය විශ්වවිද්‍යාලයෙදී රංගනය තෝරාගත්තා. නර්තනය ගැන හදාරන්න ඕන තරම් තැන් ලංකාව ඇතුළෙ තියෙනවා. නමුත් රඟපෑම හදාරන්න තැන් ලංකාවෙ එච්චර නැහැ. අනික කැලණිය විශ්වවිද්‍යාලය කියන්නෙ කලාකරුවන්, කලාකාරියන් බොහොමයක් ඉගෙන ගත්ත තැනක්. ඒ නිසා ඔවුන් විශ්වවිද්‍යාලයෙදී කළ දේවල් අපි දැක්කා. අපිට දැනුණා. ඒ නිසා ඒ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා.
සමාධි වේදිකා නාට්‍යවලට අවතීර්ණ වුණේ කොහොමද..?
මුලින්ම කැලණිය විශ්වවිද්‍යාල වේදිකාවෙ වැඩ කළා. ඒවා කරද්දී ඒ නිර්මාණ දැකපු එළියෙ හිටපු අධ්‍යක්ෂකවරුන්ගෙ නිර්මාණවලට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම රාජිත දිසානායක, ප්‍රසන්න සිරිකුමාර වැනි අධ්‍යක්ෂකවරැන්ගෙ නිර්මාණවලට දායක වෙන්න පුළුවන් වුණා.
මේ දවස්වල ඔබව දැකලා පුරුදු කෙනෙක් සිනමාපටයෙන් දකින්න ලැබෙනවා. වේදිකා නාට්‍යවලට දායක වුණු සමාධි සිනමා තිරයට සම්බන්ධ වුණේ කොහොමද..?
මීට පෙර මට චිත්‍රපට බොහොමයකට ආරාධනා ලැබුණා. නමුත් මම ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කළා. මම වේදිකාවෙ පළවැනි සම්මානය ගනිද්දී මට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලයි තිබුණෙ. ඔබ ආපසු යන්න කියන වේදිකා නාට්‍ය වෙනුවෙන් තමයි මට යෞවන සම්මාන උළෙලෙදී හොඳම සහාය නිළිය සම්මානය ලැබුණෙ. ඊටපස්සෙ මට සම්මාන කිහිපයක්ම ලැබුණා. ඔය අතරේ කඩදොර ටෙලිනාට්‍යයෙ ප්‍රධාන චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ චරිතයට මම සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත්තා. නමුත් අවසානයෙදී මම දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය බාරගන්න කැමති වුණා. චිත්‍රපටයෙ තිබුණු එක දර්ශනයක් මම ප්‍රතික්ෂේප කළාම අධ්‍යක්ෂකවරයා ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමයක් යොදාගෙන තිබුණා. ඒ නිසා අනිත් අය කියන කතා මට අදාළ වෙන්නෙ නැහැ. මගේ හෘදසාක්ෂිය පමණයි මට අත්‍යවශ්‍ය වෙන්නෙ. එවැනි රංගනයක් කරන්න මම දියුණු නැහැ.
චිත්‍රපටය නරඹද්දී සමාධිට මොකද හිතුණෙ..?
ආදරය කරන, ආදරය විඳින, විඳවන හැමෝටම නැරඹිය හැකි චිත්‍රපටයක් තමයි දැකලා පුරුදු කෙනෙක් කියන්නෙ. චිත්‍රපටයෙ කොතැනක හරි තමන් ජීවත් වෙනවා කියලා බොහෝවිට තමන්ට දැනේවි. ඒක මලිත් හෑගොඩ කරපු අපූරු නිර්මාණයක්.
ඔබ කාලයක් ලංකාවෙ හිටියෙ නැහැ නේද..?
ඔව්.. මගේ සැමියා රැකියාව කරන්නෙ යුරෝපයෙ. ඒ නිසා කාලයක් මම හිටියෙ එයත් එක්ක. අපේ පුතාත් මට ලැබුණෙ එහෙදිමයි. දැන් පුතාට වයස අවුරුදු හතරයි. සැමියා මට කිසිම දෙයකට තහංචි දාන්නෙ නැහැ. සමහර නිර්මාණ මම කරන්න බැහැ කිව්වත් එයා තව පාරක් හිතන්න.. ඒ වගේ දෙයක් අතහරින්න එපා කියලා කියනවා. දැන් මමයි පුතායි ලංකාවෙ ඉන්නෙ. සාරංග තවම ඉන්නෙ විදෙස්ගතවෙලයි. හැබැයි අපි නිවාඩුවට එහේ යනවා. එයත් නිවාඩුවට ලංකාවට එනවා.
► Text - Dishani / Pic - Malaka Weligodapola