හැංගි හැංගි කාඩ් හැදිල්ල අපේ එක සෙල්ලමක්
කොහොමද කුශ්ලානි... ඔයාගෙයි රොෂාන්ගෙයි නත්තලට සූදානම..?
කොහොමටත් අපි නත්තලට ගොඩාක් කාලයක ඉඳන් ලෑස්ති වෙනවා. දෙසැම්බර් මාසය කියන්නෙ ගොඩාක් කාර්යබහුල මාසයක්. ඉතින් අපි දෙන්නා දැන් විවාහවෙලා අවුරැදු තුනක් වෙනවා. කලින් අවුරැදුවල නත්තලට ගොඩාක්ම ළංවෙලා සූදානම් වෙන්න ගිහින් අපිට ගොඩාක් එක එක දේවල් අතපසු වුණා. ඉතින් ඒ නිසා මේ සැරේ අපි නොවැම්බර් මාසේ ඉඳන් නත්තලට සූදානම් වුණා. ඒ නිසා අපිට දෙසැම්බර් මාසේ උත්සවවලට සහ අනිත් දේවල් කරගන්න ටිකක් වැඩිපුර කාලය තියෙනවා.
ඔය දෙන්නගෙ ගෙදර ලස්සනට සරසලා.. මේ සැරසිලි ගෙනාවේ කොහෙන්ද..?
මට වගේ රොෂානුත් ගේ ලස්සනට සරසන්න ආසයි. මම කතෝලික. රොෂාන් බෞද්ධ. ඒ වුණත් මට වඩා රොෂාන් හරි ආසයි ලස්සනට සරසන්න. රට ගියාමත් රොෂාන් මුලින්ම කරන්නෙ ගෙදරට බඩු ගන්න එකයි. එයාට ගන්න කලින් එයා ගෙදරට තමයි ගන්නෙ. මේ සරසලා තියෙන බොහෝ සැරසිලි අපි එක එක රටවල්වලින් ගෙනාපුවා. ලෝකෙ රටවල් බොහොමයක තිබුණු පුංචි සැරසිල්ලක් හරි මේ නත්තලට අපේ ගෙදර කොහේහරි කොණක තියෙනවා.
සැරසිලි කරන්න කුශ්ලානිගේ මවගෙන් ලැබෙන සහයෝගය ලේසි පහසු දෙයක් නෙමෙයි නේද..?
අම්මෝ... ඔව්.. ඒක ඇත්ත. මාත් රුකියාවට යනවා. මේ දවස්වල රොෂානුත් ෂූටිං යනවා. ඉතින් මගේ අම්මා තමයි ගෙදර අස්පස් කරලා නත්තලට මුලින්ම සූදානම් වුණේ. පහුගිය දවස් කීපයක්ම රොෂාන්ටත් එකදිගට ගෙදර ඉන්න පුංචි නිවාඩුවක් ලැබුණා. ඉතින් රොෂානුයි අම්මයි තමයි ගෙදර සරසන එක වැඩිපුරම කළේ. අම්මා කිව්වට පස්සෙ ගෙදරට ඕන සමහර දේවල් රොෂාන් ගිහින් තනියමත් ගේනවා. ඇත්තටම මටයි රොෂාන්ටයි අම්මා ලොකු හයියක්.
කොහොමද සුභ පැතුම්පත් ගැන එහෙම තියෙන අදහස.. කුශ්ලානිත් සුභ පැතුම්පත් යවනවාද..?
ඔව්.. ඔව්.. ඒ දේවල් අපි තාමත් කරනවා. ගොඩාක් වෙලාවට මායි රොෂානුයි උපන්දිනවලට නත්තල්වලට කාඩ් හදනවා. රොෂාන් මට එකක් හදනවා. මම රොෂාන්ට එකක් හදනවා. හැබැයි දෙන්නට දෙන්නා ඒවා හදන්නෙ හොරෙන්. අපි දෙන්නා ඒ දේවල් කලින්ම හදනවා. හැබැයි පෙන්නන්නෙ නෑ. මේ සැරේ එකක් මම හදලා හංගලයි තියෙන්නෙ. එක එක අත්කම්වලින් අපි ඒ කාඩ් හදනවා. හැබැයි ඒවා එකිනෙකට වෙනස්. එහෙම හදලා ඉවරවුණාට පස්සෙ ඔය එක එක දේවල් ලියලා අපි ඒ කාඩ් හැඩවැඩ කරනවා. හැබැයි දෙන්නගෙ කාඩ්වලින් ලස්සන කාඩ් එක මොකක්ද කියලා කියන්න නම් අමාරැයි. ඒ තරමටම ඒ දෙක එකිනෙකට වෙනස්.
Text - Dishani / Pic- Sumudu