හර්ෂි අංජුමාලා පුංචි තිරයෙන් රිදී තිරයට
කලා ක්ෂේත්රයේ තරුණ දායකත්වයෙන් අද වනවිට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා. නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයට පැමිණි ඇය පේ්රක්ෂක අවධානයට ලක්ව තිබෙන්නේත් ඇයගේ දක්ෂතාවය නිසාමයි. මේ කතාබහ ඇය සමගයි.
අංජුමාලා පුංචි තිරයෙන් රිදී තිරයට වෙනම පිම්මක් පැනලා තියෙනවා නේද?
ඔව්. ඇත්තටම ඒක අලූත්ම අත්දැකීමක්. මම රංගන ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් වගේ වෙන්නෙ. මුලින්ම මම රංගනයෙන් දායකවෙන්නෙ ‘සිදු’ ටෙලි නාට්‍යයට. ඒ හරහා ආපු ගමනේදි ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම මම නොහිතපු විදියට මට සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ පොඩි කාල සීමාව තුළ සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකට දායකවෙන්න ලැබීම ඇත්තටම ලොකු දෙයක්. ඒ ගැන මම ගොඩක් සතුටුවෙනවා.
මොකක්ද ඒ නිර්මාණය?
හර්ෂ උඩකන්ද අධ්යක්ෂවරයාගෙ ‘සේද මාවත’ සිනමා නිර්මාණය සඳහා තමයි දායක වුණේ. එහි රූගත කිරීම් මේ වෙද්දී අවසන්. ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ඒ වගේම මෙහි රූගත කිරීම් අවසානයේ තවත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එයත් තවත් සතුටට කාරණයක්.
පුංචි තීරයෙ වැඩ කටයුතු කොහොමද?
‘හාරත හේරා’ සහ ‘සිදු’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා මම දායකවෙන. ‘හාරත හේරා’ කියන්නෙ වෙනස් පිටපතකට කෙරෙන නිර්මාණයක්. එහි ‘විදුෂා’ කියන චරිතයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම ‘සිඳු’හි ‘ගයනි’ චරිතයටත් එහෙමයි. ඉතින් මේ චරිත ගොඩනගා ගන්න සහය ලබාදෙන මේ නාට්‍ය කණ්ඩායම්වල හැමෝම ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ දක්වන සහයෝගය පිළිබඳව.
මෑතකදී කොමඩි පැත්තට බර චරිතයකට සම්බන්ධ වුණා නේද?
ටිකිරි රත්නායක මහත්මයාගේ ‘ගුරුන්නාන්සේ’ කියන ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ. එය කොමඩි පැත්තට බර චරිතයක්. ඒ වෙනුවෙන් රංගනයෙන් දායකවෙලා ඉන්නෙත් සුසිලා කෝට්ටගේ මහත්මිය ඇතුළුව ප්‍රවීණ වේදිකා නාට්‍යවල වැඩි වශයෙන් රංගනයෙන් දායකවන පිරිසක්. ඒ තුළින් ඇත්තටම මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මෙහි තිර රචනයත් ගොඩක් වෙනස්. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට හාස්‍ය උපදවනවා කියන්නෙත් හරි අමාරු දෙයක්නෙ. ලොකු අභියෝගයක්. නමුත් මම ගොඩක් ආසාවෙන් කරගෙන යනවා.
අංජුමාලා විවිධාකාර චරිත රංගනයන් ඉදිරිපත් කරලා තියෙනවනෙ? ආදර චරිත, නපුරු චරිත, හැමදේම ඉතින් දැන් මේ අලූත්ම හාස්‍ය මුසු චරිතය කරද්දි මොකද හිතුණෙ?
ඇත්තටම අනිත් චරිත එක්ක බලද්දී වෙනස්ම පැතිකඩක්. මෙහි තිර පිටපත අතට ගත්තම මට එහිදී කියවන්න තියෙන දෙබස් දැක්කම හිනා යනවා. මොකද ඒ දෙබස් මම කලින් ඇසුරු කරපු දෙබස්වලට වඩා ගොඩක් වෙනස් නිසා. නමුත් ඒ රංගනයෙ යෙදෙද්දී ඒ වෙනුවෙන් දායකවෙලා ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වැඩ කරද්දි අපිත් ඒ අයට ගැළපෙන විදියට ඒ රංගනය ආසාවෙන් කරගෙන යනවා.
අංජුමාලා මේ ක්ෂේත්රයට එන්නෙ නර්තන ශිල්පිනියක් විදියට. දැන් ඔබව හඳුනන්නෙ රංගන ශිල්පිනියක් විදියට. ඉතින් දැන් නර්තනය අතහැරලාද?
නර්තනය අතහැරලා නෑ. මම විශ්වවිද්‍යාලෙ යන ගමන් රංගනය කරන්නෙ. විශ්වවිද්‍යලයේ තෙවන වසරෙ ඉගෙන ගන්නෙ. ඒ අධ්‍යාපන කටයුතුත් එක්ක නිවාඩු ලැබෙන හැම මොහොතකම නර්තන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මට එක දිගට නර්තනයෙ යෙදිලා ඉන්න නොහැකි වුණත් මම මුලින්ම කරපු දේ ඒ මගේ නර්තන දක්ෂතාවය වෙනුවෙන් මට පුළුවන් හැම වෙලාවකම මම කාලය කැප කරනවා.
අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම ක්ෂේත්රයේ හිමින් ගමනක් යන කෙනෙක්. නිර්මාණ ගොඩකට එකවර සම්බන්ධ වෙන්නෙත් නෑ. මාව තෝරා ගත් පිරිසක් ඉන්නවා. ඒ අයට අසාධාරණයක් නොවන විදියට තෝරා බේරාගෙන මට ගැළපෙන චරිත කරගෙන හිමින් ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඇත්තටම අද මේ ඉන්න තැන ගැන මම අවංකවම සතුටු වෙනවා.
මොකද මේ ගමනෙදි මට ආදරය කරන පිරිසක් ලැබුණා. හොඳ පේ්රක්ෂක ආදරයක්. ඒ වගේම කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ආපු ගමනෙදි වෙළෙඳ දැන්වීම්, ටෙලි නිර්මාණ ආදියට සම්බන්ධ වෙලා අවසානයේ සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ හැමදේම හරහා මගේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු වුණා කියලා හිතනවා. ඒ ගැන සතුටුයි.
අංජුමාලා කැමැත්තෙන් ඉන්න මෙතෙක් නොලැබුණු චරිතයක් තියෙනවද?
ඔව්. ඇත්තටම මම ගොඩක් ආසයි හොරර් ෆිල්ම්ස්වලට. ඉංගී්රසි සහ දෙමළ හොරර් ෆිල්ම්ස් මම බලනවා ගොඩක්. මේ දවස්වල මම ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා. ඉතින් ඒ වගේ බිය උපදවන නිර්මාණයකට දායක වෙන්න ආසයි. බය කියන දේත් එක්ක ඒක හරි අමුතු දෙයක්නෙ. ලොකු වෙනසක් වෙයි කියලා හිතෙනවා එවැනි චරිතයක් ලැබුණොත්.
දිගටම රංගන ක්ෂේත්රයේ යෙදෙන්නද බලාපොරොත්තුව?
රංගනය කියන දේ මම එකදිගටම කරගෙන ආපු දෙයක් නෙමෙයි. අධ්‍යාපන කටයුතුත් එක්ක කරගෙන ආවෙ. නමුත් මම ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා ආරම්භ කරපු රංගන ජීවිතය අද වෙද්දි ලස්සන නිර්මාණ එකතුවක් වුණා. හොඳ අධ්යක්ෂවරු යටතේ විවිධාකාර චරිත කරන්න ලැබුණා. නමුත් වෘත්තියක් වශයෙන් මම රංගනය කරන්න කැමති නෑ. මේ මා තුළ තිබුණු යම් දක්ෂතාවයක් නිසා මට ලැබුණු දේවල්.
මගේ මූලික තැන දෙන්නෙ මම අධ්‍යාපනයට. ඒ නිසා මම තව අවුරුදු දෙකකින් පමණ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙනවා. එය අනිවාර්යෙන් සිදුවන දෙයක්. නමුත් කලාව කියන දේ මම කවදාවත් අත අරින්නෙ නෑ.
ධනු විජේරත්න
ඡායාරූප: ඇලේසිස් චාමිකර