හයියෙන් අඬද්දී මට නලවගන්න හරි අමාරුයි
ඕෂධී.. මේ ලබන්නෙ පුංචි එලීසාගේ මුල්ම නත්තල... එහෙම නේද..?
ඔව්.. එලීසාට දැන් වයස මාස දෙකයි. ඉතින් මේ එයාගේ මුල්ම නත්තලයි. මමයි මනෝජුයි දෙන්නම බෞද්ධයෝ. හැබැයි අපි දෙන්නටම කතෝලික යාළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. වෙන වසරවලදී නත්තල් උත්සවවලට අපි දෙන්නත් සහභාගි වෙනවා. නත්තල කියන්නෙ හරි ලස්සන සැමරුමක්. පුංචි කාලේ ඉඳන්ම අපිත් ඒ නත්තල් දිනයට හරි ආසයි.
එලීසා එක්ක ගත කරන ජීවිතේ කොහොමද..?
චූටි දූ එක්ක ගත කරන ජීවිතේ හරිම අපූරුයි. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒක ඇත්තටම හරිම කාර්යබහුල ජීවිතයක්. අමුතුම අත්දැකීමකටයි මුහුණදීලා තියෙන්නෙ.
ඒක හරිම ෂෝක්. එයත් එක්ක ගෙවන හැම තත්පරයක්ම හරිම සුන්දරයි. වැඩිපුරම මම දැන් කාලය ගත කරන්නෙ චූටි දූ එක්කම තමයි.
ඔයා විවාහ වුණේ ඔයාගේ ජීවිතේ කාර්යබහුල කාලෙකයි.. දැන් චූටි දුවෙකුත් ඉන්නවා. ඒවත් එක්ක ඒ වැඩ කටයුතු මඟහැරුණේ නැද්ද..?
එහෙම මඟහැරුණේ නැහැ. කොහොමහරි මම ඒ හැමදේම බැලන්ස් කර ගත්තා. ඒක ඇත්තටම හරිම අමාරු දෙයක්. මම විවාහ වුණේ මට වැඩ කිහිපයක් නිසාම කාර්යබහුල වුණු වෙලාවකයි. මේ ක්ෂේත්රයේ ජනප්‍රිය වේගෙන එන කාලයකයි මම විවාහ වෙලා දුවත් ඉපදුණේ. මම හිතන විදිහට මම මගේ පවුල් ජීවිතයට මුල්තැන දෙන්න ඕනෙ. ඒ නිසා අම්මා කෙනෙක් වෙන කාලයේදී වෙන දේවල් වෙනුවෙන් ඒ කාලය නාස්ති කිරීම ඇත්තටම මෝඩ වැඩක් කියලා මට හිතුණා. අම්මා කෙනෙක් වීම මට මගේ ජීවිතේ කාලයක් තිස්සෙ තිබුණු හීනයක්. අද ඒ හීනය හැබෑවෙලා තියෙනවා. මගේ ජීවිතේ චූටි දුවත් එක්ක ගොඩක් වෙනස් වුණා. ඒ වෙනසට මුහුණ දෙන්න මුලින් පොඩ්ඩක් අමාරු වුණා. දැන් ඒකට හුරැවෙමින් පවතිනවා. මම මේ ජීවිතයට හරි ආදරෙයි. චූටි දුවගේ වැඩ, මනෝජ්ගේ වැඩ, මගේ රැකියාවේ වැඩ, ගෙදර වැඩ කටයුතු හැමදේම පුළුවන් උපරිමයෙන් කරන්න මම උත්සාහ ගන්නවා.
මව් පදවිය ලබපු දිනයේදී හිතට දැනුණු දේ වචනවලට පෙරළන්න හරි අමාරුයි නේද..?
ඔව්.. ඇත්තටම ඒක වචනවලින් කියන්න අමාරු දෙයක්. ඒ අත්දැකීම හැම ගැහැනියක්ම විඳින්න ඕනෙ. ඉස්සර අපේ අම්මලා මම ඔයාව හැදුවේ මෙහෙමයි කියලා කිව්වට ඒක අපිට එච්චර අමාරුයි කියලා තේරෙන්නෙ අපිත් මව් පදවිය ලබපු දවසට තමයි. ඒ අත්දැකීම කෙනෙක් කිව්වට එච්චර තේරෙන්නෙ නැහැ. ඒක අපි විඳින්නම ඕනෙ. මම ඒ අත්දැකීම වින්ඳා. අම්මා කෙනෙක් දරැවෙක්ව මේ ලෝකෙට බිහි කරද්දී කොච්චර දුක් විඳිනවද කියලා මම දන්නවා. හැබැයි ඒ දරුපැටියා නිසා අම්මා කෙනෙක් ඊටපස්සෙත් ජීවිතේ දුක් විඳිනවා. අම්මට ඒ වටිනාකම දෙන්න ඕනෙ.
මේ වැඩ කටයුතුවලට මනෝජ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
ඇත්තම කිව්වොත් ගෙදර වැඩවලටනම් මනෝජ්ගෙන් එහෙම ලොකු සපෝට් එකක් ලැබෙන්නෙ නැහැ. එයා ගොඩක් කාර්යබහුල කෙනෙක්. හැබැයි බබාගේ වැඩවලට, මගේ වෘත්තීය වැඩවලට මනෝජ්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. මනෝජ් ගෙදර වැඩ කරලා පුරුදු කෙනෙක් නෙමේ. ඒත්.. චූටි දුවගේ වැඩවලට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ගෙදර වැඩ හැමදේම සිදුවෙන්නෙ මගේ අතිනුයි. මගේ වෘත්තිය වැඩ ගැන මටත් වඩා උනන්දුවෙන් ඒ දේවල් හොයලා බලලා කරන්නෙ මනෝජ්.
ඇත්ත කියන්න.. පුංචි එලීසාව ඉක්මණින්ම නලවගන්න පුළුවන් කාටද..?
ඇත්තම කිව්වොත් චූටි දුව හයියෙන් අඬද්දී මට නලවගන්න හරි අමාරුයි. හැබැයි මනෝජ් ඉක්මණින්ම දුවව අතට අරගෙන නලවගන්නවා. ඒකට හේතුව මමත් දන්නෙ නැහැ. චූටි දූ මනෝජ්ගේ අතේදී ඉක්මණින්ම නැලවෙනවා.
චූටි දුව නිසා ඕෂධී වෘත්තීය කටයුතුවලින් ඈත්වෙලාද..?
චූටි දුව නිසා ලැබෙන ආරාධනා හැමදේම බාරගන්න බැහැ. දුව නිසා මම ගොඩක් කාර්යබහුලයි. මම හැමදේටම වඩා මනෝජ්වයි මගේ චූටි දූවයි වටිනවා. මම මුල්තැන දෙන්නෙ ඒ දෙන්නා එක්ක ගෙවන ජීවිතයටයි. ඒ නිසා එන හැම ආරාධනාවක්ම මම බාරගත්තෙ නැතිවුණත් සීමිත වැඩ කොටසක් තියෙන, ඉක්මණින් කරලා ඉවර කරන්න පුළුවන් වැඩ බාරගන්නවා. හැබැයි තවම මියුසික් වීඩියෝවලට, රංගනයට දායක වුණේ නැහැ. බොහෝ වෙලාවට ලබන වසරේදී මම රඟපෑ තුන්වැනි චිත්‍රපටය මම මිස් ජෙනී තිරගත වේවි. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් සහ ආසාවකින් ඉන්නවා.
2020 වසරේදී තියෙන බලාපොරොත්තු මොනවද..?
ලැබෙන හැම වැඩක්ම බාරගන්න කැමති නැහැ. ඒ දේවල් සමබරව කරගන්න ඕනෙ. මම මගේ ජීවිතේ දැන් මුල්තැන දෙන්නෙ මගේ සැමියාටයි චූටි දුවටයි. බබාගේ වැඩ කටයුතුත් එක්ක මට මගේම කියලා පොඩි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් එක්ක බොහෝවිට 2020 වසර කාර්යබහුල වේවි.
► Text - Dishani / Pic - Sumudu