'සුබාසිරි' තුළින් ඔබ හමුවන 'රශ්මි'
සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'සුබාසිරි' වැඩසටහන ඉදිරිපත් කරන සුරූපීණිය ඔබට මතකද..? ඇය නමින් රශ්මි රූත්ය. නිවේදිකාවක් වීමට පෙර ඇය රංගන ශිල්පිනියක් ලෙස හමු වී ඇත. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යය හරහා රංගනයටද පිවිසි ඇය සිය පළමු ටෙලි නාට්‍යය රංගනයෙන්ම ටෙලි සම්මානයකටද හිමිකම් කීමට සමත් විය. අද ‘සාරවටි' තරු කතා බහටද ඇය අපි සමගින් මෙසේ එක් වුණේමු.
ගොඩක් හොඳින් ගෙවිලා යනවා. නිවේදිකාවක් විදිහට මේ දවස්වල වැඩ කරනවා. ඒ සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'සුබාසිරි' මංගල තුළින්. ඊට අමතරව මේ දිනවල වැඩිපුර තැනක් දිලා තියෙන්නේ අධ්‍යාපනය පැත්තට. දැනට මම 'රෝයල් ඉන්ට්ර්ටියුට්' හි 'ලන්ඩන් යුනිවර්සිටි' උපාධිය කරනවා. එහි පළමු විභාගය පසුගිය සති කිහිපයේදී තිබුණා. තවත් අවුරුදු 2ක කාලයක් මේ උපාධිය හදාරන්න මට සිදුවෙලා තියෙනවා.
ටෙලි නාට්‍යය රංගනයට සමුදිලා තියෙන්නේ?
නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම කරනවා. පසුගිය කාලයේදී හොඳ නිර්මාණ කිහිපයක්ම ලැබුණා. නමුත්, මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වුණා. අරුණ ජයවර්ධනගේ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යයෙන් පස්සේ රංග බණ්ඩාරනායකගේ 'භවාන්තර' ටෙලි නාට්‍යය සම්බන්ධ වුණා. ඊට පස්සේ නම් රංගනයට පැත්තට යොමු වුණේ නැහැ. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න දැනට අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත්, ඒ ගැන කිසිම සඳහන් කිරිමක් කරන්න තවමත් බැහැ. මොකද, ඒ නිර්මාණයේ වැඩ තාම සාකච්ඡා මට්ටමින් තියෙන නිසා.
මේ දවස්වල ගීත රූප රචනාවක පෙනී ඉන්නවා නේද ඔබ?
රුවන් හෙට්ටිආරච්චිගේ 'වෙන්වී ගියත් පෙරදා' ගීතයට. එහි මා සමගින් දසුන් නිශාන් රංගනයෙන් දායක වෙනවා. මේ ගීතයට අමතරව මම 'සිරස සුපර් ස්ටාර්' සුරේන්ද්‍ර පෙරේරාගේ 'සමා වෙන්න දෝ', සචිත් පිරිස්ගේ 'තරු අස්සෙන්', චින්තක ජයසිංහගේ 'සුරඟන', යශාන්ගේ 'රූ තුන්යම' ඇතුළු තවත් ගීත රූප රචනා බොහොමයකට මම දායක වෙලා තියෙනවා.
පළමු ටෙලි නාට්‍යය රංගනයෙන්ම ඔබට සම්මානයක් හිමිවුණා නේද?
අරුණ ජයවර්ධනගේ 'සුළඟට එන්න කියන්න' ටෙලි නාට්‍යයේ කළ රංගනයට ඒ වසරේ පැවති 'රයිගම්' ටෙලි සම්මාන උළලේදී වසරේ නැගී එන යොවුන් නිළි සම්මානය දිනාගන්න මට පුළුවන් වුණා. මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම දායක වුණ 'භවාන්තර' ටෙලි නාට්‍යයේ 'මාරි' කියන මානසික රෝගයකින් පෙළෙන ගැණු දැරිවියකගේ චරිතය ගැනත් බොහොදෙනෙකු කතා බහ කළා. ඇත්තටම එය මට විශේෂිතම අත්දැකිමක් ගෙනදුන් ටෙලි චරිතයක් වුණා.
ඉදිරි ඉලක්ක මොනවද?
ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න තමයි මගේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඒකට තව අවුරුදු 2ක් තියෙනවා. ඒ අතරතුර කලා කටයුතු වලටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොම වුණත් මගේ අදහස මේ ක්ෂේත්‍ර දෙකම සමබරව ඉදිරියට කරගෙන යන්න තමයි.
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - නිශාන්ත යටගම්පිටිය (0777 921128)