'සිරස ජූනියර් ස්ටාර්' මට අලුත්ම අත්දැකීමක්
වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන තනාෂා සතරසිංහ මේ වනවිට රංගන ශිල්පිනියක හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද බෙහෙවින් ජනප්‍රිය සිටින්නීය. ‘සිරස’ රූපවාහිනි නාළිකාවේ ඉරිදා රාත්‍රියේ දී විකාශය වන ‘සිරස ජූනියර් ස්ටාර්’ රියලිටි වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාව ලෙසද ඇය කටයුතු කරයි. මේ නිසාම මෙවර "තරුණයා" තරු කතාබහට අපි ඇයව සම්බන්ධ කර ගත්තෙමු.
මේ දවස්වල තනාෂාව රියලිටි තරගයක නිවේදිකාවක් විදිහට අපි දකිනවා?
ඔව්. ඒ ‘සිරස ජූනියර් ස්ටාර්’ රියලිටි වැඩසටහනේ. මීට කලින් මම නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. නමුත්, රියලිටි තරගයක නිවේදිකාවක් විදිහට වැඩ කරන ප්‍රථම වතාව මේක. ඒ වගේම තමයි මේ රියලිටි වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ පොඩි අය. ඉතින් ඒ අයත් එක්ක වැඩ කරන එක මට අලුත්ම අත්දැකීමක්.
පොඩි අයත් එක්ක මේ කරන වැඩේ අමාරු නැද්ද?
තරගයේ මුල් අදියරයේ නම් ටිකක් විතර නුහුරු බවක් දැනුණා. මොකද, රියලිටි තරගයක නිවේදිකාවක් විදිහට මීට කලින් වැඩ කරලා නැති නිසා අත්දැකීමක් නැති නිසා. නමුත්, මේ වැඩසටහන කරන හැමදෙනාම ලොකු සහයෝගයක් මට ලබා දුන්නා. විශේෂයෙන්ම පොඩි අයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. තරගයක විනිශ්වය පවා දෙන කොට පොඩි කට්ටිය අඬන අවස්ථා තිබුණා. ඉතින් ඒ අයගේ හිත් රිදෙන්නේ නැති විදිහට ඒ අයගේ හැඟීම් තේරුම් අරගෙන තමයි මම නිවේදන කටයුතු පවා සිදු කරන්නේ. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා මට.
‘සිරස ජූනියර් ස්ටාර්’ එක්කමද මේ දවස්වල කාලය ගෙවෙන්නේ?
ඔව්, මේ දවස්වල බොහෝ වෙලාවට කරන්නේ මේ වැඩසටහනේ රූපගත කිරීම් කටයුතුවලට දායක වෙන එක. ඉතින් වෙනත් වැඩකට දායක වෙන්න කාලයක් නැහැ. නිරූපණ කටයුතුවලට පවා මම මේ දවස්වල දෙන්නේ අඩු දායකත්වයක්.
‘රන් දේදුන්න’ චිත්‍රපටයෙන් පස්සේ සිනමාවට දායක වුණේ නැද්ද?
මෑතක දී නම් සිනමා නිර්මාණයකට දායක වෙන්න බැරි වුණා. නමුත්, කරපු වැඩ කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. නලින් රාජපක්ෂගේ ‘රන් දේදුන්න’ චිත්‍රපටයෙන් පස්සේ මම මොහන් නියාස්ගේ ‘බඹර වසන්තේ’ හා චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ කියන චිත්‍රපටවල වැඩ කළා. බොහෝ විට මේ චිත්‍රපට දෙක ලබන වසරේ දී ප්‍රදර්ශනය වෙයි කියලා හිතනවා.
සිනමා නිර්මාණවලට පමණක් ඇයි ඔබ සීමාවෙලා ඉන්නේ?
චිත්‍රපටවලට පමණක් දායක වෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒ වගේම තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මෙගා ටෙලි නාට්‍යයකට කාලයක් හොයාගන්න එක ලොකු අපහසුවක්. ඒකයි ටෙලි නාට්‍යය රංගනයට මම කැමති නැත්තේ. අන්තිමට කළේ ‘තිමිරගිර’ ටෙලි නාට්‍යය. ඊට පස්සේ බොහෝ ආරාධනා නම් ආවා ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න. නමුත්, තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා.
පසුගිය කාලයේ දෙස්-විදෙස් රූපරාජිණි තරගවලට ඔබ දායක වෙලා හිටියා. ඉදිරියටත් ඒ වගේ තරගවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නැහැ. මගේ ලොකු ආසාවක් තිබුණා ජාත්‍යන්තර රූපරාජිණි තරගයකට සහභාගි වෙන්න. ඒ අවස්ථාව ලැබුණා මට ‘මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල්’ තරගයට සහභාගි වෙලා. ඒ තරගයට යන්න අවස්ථාව ලැබුණේ ‘දෙරණ මිස් ශ්‍රී ලංකා’ තරගයට ඉදිරිපත් වෙලා. ඉතින් මගේ ආසාවල් ඉෂ්ට වුණ නිසා පැජන්ට්වලට සහභාගි වුණා ඇති කියලා හිතුණා.
තනාෂාගේ වෘත්තිය නිරූපණයද?
ඔව්, මම ක්ෂේත්රයට ආවේ නිරූපිකාවක් විදිහට. වසර කිහිපයක් තිස්සේ මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ‘සිරස ජූනියර් ස්ටාර්’ තරගයට දායක වුණේ නැත්නම් මම නිරූපණ වැඩවලට අද කාර්ය බහුල වෙලා ඉන්නේ. නිරූපිකාවක් විදිහට දායක වෙමින් සිටින අතරතුර දී තමයි මේ හැම වැඩක්ම මට ලැබුණේ. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන.