සිනමාවෙන් 5 සමත් කළ ආශා එදිරිසිංහ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-151

ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ නවතම චිත‍්‍රපටය වන ‘‘5 සමත්’’ මේ දිනවල තිරගත වෙනවා. ටෙලිනාට්‍ය රංගනයට අමුත්තියක නොවූ ආශා එදිරිසිංහ එහි ප‍්‍රධාන චරිතයක් රඟපාන්නීය. චිත‍්‍රපටයක ආශා චරිතයක් රඟපාන ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. පහ සමත් චිත‍්‍රපටයේ ගුරුවරිය ලෙස ළමුන් පිරිසකට මැදිව රඟපාන සුන්දර ආශා මෙවර සඳැල්ල කතාබහ හැඩකළේ මෙලෙසිනි.

 

ආශා කොහොමද ජීවිතේ?

2017-12-12-ent-152සතුටින් ඉන්නවා.

 

ඒකට විශේෂ හේතුව?

මේ දවස්වල 5 සමත් ළමා චිත‍්‍රපටය තිරගත වන නිසා. එහි ළමා පිරිසක් සමග මටත් දායක වෙන්න ලැබුණා. ඒක ලොකු අවස්ථාවක්. ඒ ගැන මට හරි සතුටුයි.

 

මීට පෙර චිත‍්‍රපට සඳහා ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා ලැබුණා. ඒත් ඒ දිනවල මට ඒවාට දායක වෙන්න බැරිවුණා. ඉන්පසුව ලැබුණු පළමු ආරාධනාව තමයි මෙය. මම ඒක ඉතාම සතුටින් බාරගත්තා.

 

මේ දිනවල ටෙලිනාට්‍ය දායකත්වය මොන වගේද?

නිර්මාණය කළ ටෙලි නාට්‍ය තුනක් තියෙනවා. ඒවා විකාශයට නියමිතයි. ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේදීත් මම ගොඩක් බදාගෙන රඟපෑවෙ නැහැ. දැනට කළ නාට්‍ය තුනක්ම තියෙන නිසා අලූතින් තව වැඩ බාර ගත්තෙත් නැහැ. අලූත් නාට්‍යයක රූගත කිරීම් එළැඹෙන ජනවාරියේදී ආරම්භ වීමට නියමිතයි.

 

අන්තිමට විකාශය වූ නාට්‍යයේ චරිතය ගැන කිව්වොත්?

අන්තිමට විකාශයවුණේ ජයප‍්‍රකාශ්ම ‘‘කළු කුරුල්ලා’’ ටෙලි නාට්‍යයයි. එහි චරිතය සහ නාට්‍යයත් හරිම ජනප‍්‍රිය වුණා.

 

ආශා එක විදියක් කියලා තමයි සමහරු කියන්නෙ.

බොහෝ වෙලාවට මම ක්ෂේත‍්‍රයේ වැඩවලදී නිතරම පෙනෙන්නට නැහැ. අත්‍යාවශ්‍ය දේට විතරයි දායක වෙන්නෙ. ඉතින් ඒ නිසා වෙන්නැති ඔබ ඔහොම කියන්නෙ. වැඩ ගොඩාක් බදාගෙන චරිත ගොඩාක් බදාගෙන ආ ගමනක් මට තිබුණෙ නැහැ. මම අද ව්‍යාපාර ක්ෂේත‍්‍රයට සම්බන්ධයි.

 

මොන වගේ ව්‍යාපාරයක්ද?

‘’ඇඞ්ෆිනිටි’’ නමැති නිෂ්පාදන ආයතනයක්. ඒ මගින් රූපවාහිනී නිර්මාණ, දැන්වීම් ආදී නිෂ්පාදන නිර්මාණය වෙනවා. බොහෝ විට වෙනත් බොහෝ දේට මට දායකත්වය ලබාදෙන්නත් බැරි අපේ නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු නිසයි.

 

ඔබගේ ඇඞ්ෆිනිටි ආයතනයෙන් වඩා කතාබහට ලක්වූ නිර්මාණ මොනවද?

සම්මානයට පාත‍්‍රවූ ටෙලිනාට්‍ය කීපයක්ම කළා. ‘‘රණා’’ ටෙලි නාට්‍ය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නළුවා නිළිය වගේම හොඳම නාට්‍ය ලෙස ප‍්‍රධාන සම්මාන ත‍්‍රිත්වයම දිනාගත්තා. ඉන්පසුව මේ දිනවල නැවත විකාශය වන ‘‘අළුබඳුන’’ ටෙලිනාට්‍ය සම්මාන ලැබුවා. මේ දිනවල නැවත විකාශය වෙද්දීත් ඊට ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. එලෙසින් අපි නිර්මාණ හයක් පමණ මේ දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා.

 

ආශා ‘‘පහ’’ සමත්ද?

ඔය අහන්නෙ ශිෂ්‍යත්වයද?

 

ඔව් ශිෂ්‍යත්වය සමත්ද?

මම පහ සමත් නැහැ. එදා අධ්‍යාපන කටයුතුවලට මම හරිම දුර්වලයි. ඒත් පසුව මටම විභාග පාස්වීමේ උනන්දුවක් ඇතිවුණා. ඒ උනන්දුව අන්තිමට කෙළවර වුණේ සාමාන්‍ය පෙළත්, උසස් පෙළත් සමත් වීමෙනුයි. පසුව කැලණි සරසවියෙන් කළමනාකරණ අංශයෙන් විශේෂ උපාධියක් තෙක් හැදෑරුවා. ඒත් පහ ශිෂ්‍යත්වය නම් සමත් නැහැ. ළමයින්ට මම කියන්නෙ තමුන්ට වුවමනාව උනන්දුව තියෙනවා නම් ඉහළින්ම විභාග පාස් වෙන්න පුළුවනි.

 

එදා ආශාගේ සිහිනය වුණේ?

පහ සමත් වීමට වඩා එදා මට තිබුණේ නර්තනය ගැන වූ සිහිනයක්. පසුව තමයි කළමනාකරණ අංශයේ උපාධිය දක්වා ඉගෙන ගත්තෙ.

 

එච්චර ආශා කළ ආශාගේ නර්තනයට මොකද වුණේ?

කුඩා කාලයේ සිටම වගේම රඟපෑමට තමයි ආරාධනා ලැබුණෙ. ගිරිකුල අන්දරයෙ රඟපෑවා. ඒකත් එක්ක මට මගේ ගැන සොයා යන්න හිතුණා. ඇයි මම ඉගෙනීමට දුර්වල කියලා. එහෙම හිතලා තමයි මට පුළුවන් කියන තැන සිට අධ්‍යාපනය කළේ.

 

‘‘පහ සමත්’’ කරන්න ගිහින් වෙච්ච දේවල් එහෙම තියෙනවද?

ළමුන් පිරිසක් එක්ක රඟපෑම හරි විශේෂ දෙයක් වුණා. මම ගුරුවරිය ලෙස රඟපාද්දි ළමුන් 45 ක් විතර පංතියට අයත් වුණා. එයාලගෙ කෑ ගැසීම් නවත්වන්නට බැහැ. බැරිම තැන මම කෑගහන්න එපා කියලා හඬ නගා වේගයෙන් මේසයට අත්දෙක ගැසුවා. ඔන්න ඒ පාර ළමුන් බයවුණා. හැබැයි මගේ අත්දෙක නම් තදින්ම රිදුණා. ඒත් ළමුන් ඔක්කෝම ටික නිශ්ශබ්ද වුණාට එතැන හිටපු පුංචිම දරුවා මගේ දිහා බලලා ‘‘ඊහ්හ්’’ කියලා මට විරිත්තුවා. අපට හිනාව පාලනය කරගන්න බැරිවුණා. මේ විදියට ළමුන් එක්ක ගතකළ ඒ කාලය ඇත්තෙන්ම සුන්දරයි. මේක පොඩි ළමුන්ගේ හිතට කතා කරන්න පුළුවන් අපූරු චිත‍්‍රපටයක්. තුසිත අනුරාධ කැමරාකරණයෙන් ඒ ළමා ලෝකයේ හැඩතල අපූරුවට නිර්මාණය කර තිබෙනවා. මේක බොහෝම සුන්දර ළමා චිත‍්‍රපටයක්.

 

ආශාගේ ජීවිතය මොනවගේද?

හොඳින් ගෙවෙනවා. අපේ තාත්තා අපට අහිමිවෙලා වසර දෙකක් වෙනවා. ඒ අඩුව නම් කවදාවත් පිරවෙන එකක් නැහැ. මට ඉන්නෙ අම්මයි නමුත් අයියයි විතරයි. අයියා විදෙස් ගතව සිටින්නෙ. අපි සතුටින් හොඳින් ජීවත් වෙනවා.

 

‘‘ආශා’’ තවමත් තනිකඩ දිවි ගමනේ?

හැමදාම එහෙම වන එකක් නැහැ. දෛවය අනුව සියල්ල සිද්ධ වේවි. කුසල් අකුසල් සහ කර්මය ගැන මම හිතනවා. ඒ වගේම බෞද්ධ දර්ශනය ගැන විශ්වාස කරනවා. හරියට ජීවිතය අවබෝධ කර ගැනීම තරම් දෙයක් තවත් නැහැ.

 

‘‘ආදරය’’ විඳින්නෙ දැනෙන්නෙ කොහොමද?

ආදරය ගෙදර අයගෙන් විඳිනවා. මට තිබුණු ලොකුම ආදරය නැතිවුණා. ඒක ලැබුණෙ තාත්තාගෙන්. මට තිබුණු ලොකුම ශක්තිය එයයි. මගේ අම්මා තාත්තා සහ අයියා මාව දකින්න කැමති විදියක් තිබුණා. ඒ අනුව තමයි මගේ ජීවිතය හැඩගසා ගත්තෙ. මට මගේ ජීවිතය වගේම ගෙදර අයගෙ හැඟීම් ඊට වඩා වටිනවා.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

 2017-12-12-ent-154 2017-12-12-ent-153