සහෝදරයා හැඩකරන තුමිඳුගෙ හැඩකාරි කළණි
රංගන ජීවිතයේදී සැමියා සහ බිරිඳ චරිත රඟපෑමට සැබෑ ජීවිතයේ සැමියා සහ බිරිඳ වූ දෙදෙනකුට අවස්ථා ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. මේ දිනවල විකාශය කෙරෙන නාමල් විජයසිංහගේ සහෝදරයා ටෙලි නිර්මාණයෙහි සැබෑ ජීවිතයේදී සැමියා සහ බිරිඳ වූ මේ දෙදෙනා එලෙසින් අපට හමුවේ. මේ විදියට හමුවන මේ රංග ශිල්පියා ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නොවේ. ”කූඹියෝ” සමඟ රටේම ජනතාවගේ ආදරය දිනූ ඔහු තුමිඳු දොඩන්තැන්නය. ඔහුගේ බිරිඳ වන කළණි මෙලෙසින් සහෝදරයා සමඟ ප්‍රථම වතාවට ටෙලි චරිතයකින් හමු වුවද, ඇයගේ රුවද රූපවාහිනී තිරයට අලූත් නොවේ. මේ වන විට දැන්වීම් විසි ගණනකට වඩා ඇය දායකත්වය ලබා දී සිටින්නීය. අද සඳැල්ල කතාබහ ”සහෝදරයා” හැඩකරන කළණි දොඩංතැන්න සමඟයි.
කළණි, සම්පූර්ණ නම කිව්වොත්?
කළණි මේනකා විල්සන්. විවාහයෙන් පස්සේ පාවිච්චි කරන්නේ කළණි මේනකා දොඩන්තැන්න කියලයි.
කළණි ගැන විස්තර කළොත්?
මම ඉගෙන ගත්තෙ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්. පසුව කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ විශේෂවේදී උපාධිධාරිනියක්. චිත්‍ර කලා විෂය තමයි මගේ අංශය වුණේ. වෘත්තීය වන්නේ මානසික වර්ධනය අඩු සහ වැඩි ළමුන් සඳහා චිත්‍ර කලාව වෙතින් චිකිත්සනය ලබා දීමයි. එය චිත්‍ර කලාව වෙතින් කරන ප්‍රතිකාරයක් ලෙස හඳුන්වන්න පුළුවනි.
කළණි රඟපෑමට එන්නේ කොහොමද?
වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටියා. පළමුව පෙනී සිටියේ දත්බේත් දැන්වීමට. පසුව බිස්කට් සහ බැංකු ඇතුළු දැන්වීම් විස්සකට අධික සංඛ්‍යාවකට පෙනී සිටියා. ඒ විදියට වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියදී මට රඟපෑම ගැන හදාරන්න ඕනෑ වුණා. නාමල් ජයසිංහ සර් මෙහෙය වූ වැඩමුළුවලට සම්බන්ධ වුණේ ඒ නිසයි. නාමල් ජයසිංහ සර් හඳුනාගත්තේ සරසවියේදියි. මම ඔහුගේ ශිෂ්‍යාවක්. ඒ වගේම ඔහු තුමිඳුගේ සමීපතම මිතුරෙකු වුණා. ”සහෝදරයා” ටෙලිමාලාව කරන බව දන්වා සර් එහි පිටපත තුමිඳු අත මට එවා තිබුණා. ඇයි මට ඒ පිටපත එව්වෙ කියලා මම දැනගෙන හිටියෙ නැහැ. එත් එහි ”උත්තරා දේවි” කියන චරිතයට ශිල්පිනියන් සොයන බව දැන ගන්න ලැබුණා. පිටපත කියෙව්වාම එය මට හරි ලෙංගතු සමීපබවක් දැණුනා. නාමල් සර්ගේ ඒ වැඬේ ගැන එතැන් සිට මම හිතුවෙ මේක අපේ සර්ගේ වැඩක්. ඒක හරියට වෙන්න ඕනෑය කියලයි. ඉන්පසුව මේ පිටපත හරිම ලස්සනයි කියලා මම නාමල් සර්ට කතා කරලා කිව්වා. ඔන්න ඔය විදියට තමයි මම සහෝදරයට සම්බන්ධ වුණේ.
එතකොට ”තුමිඳු” හමුවුනේ කොහොමද? ඒ අතීතය ගැන සිහිපත් කළොත්?
එක් දවසක ”අද වගේ දවසක ඇන්ටිගනී” නාට්‍ය නරඹන්න ගියා. ඒ නාට්‍යයේ තුමිඳු හරි අපූරුවට රඟපෑවා. ඒ නිසාම නාට්‍ය අවසානමම එයාට සුබ පතන්න ගියා. එතැනින් හඳුනාගත්ත හඳුනා ගැනීම තමයි විවාහයෙන් කෙළවර වුණේ. දැන් අපි විවාහ වෙලා වසර හතරකටත් කිට්ටුයි.
‘තුමිදු’ විවිධ චරිත රඟපානවනෙ. මේ දිනවල එයා ගැන බොහෝ දෙනා කතා වෙන්නෙ කූඹියෝ ජෙහාන් චරිතය නිසයි. ඒ චරිතය වගේම සහෝදරයා නාට්‍යයේ චරිතයටත් සාපේක්ෂව සැබෑ ජීවිතයේ දී තුමිඳු මොනවගේ චරිතයක්ද?
තුමිඳු චරිතාංග රංග ශිල්පියෙක්. එයා රංගනය හැදැරූ රංග ශිල්පියෙක්. චරිත ගැන එයා බලන්නෙත් හරි වෙනස් විදියටයි. වෙනස් වෙනස් චරිත තෝරා ගත්තෙත් ඒ නිසාම වෙන්න ඇති. කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ කතිකාචාර්යවරයෙකු ලෙස එයා වෘත්තියේ යෙදෙනවා. එයා හරිම කාර්යබහුල කෙනෙක්. අධ්‍යාපනය, රඟපෑම, තිරපිටපත් ලිවීම, උගැන්වීම මේ ඔක්කෝම එක්ක ගත්තොත් එයා බොහෝ දේට දක්ෂ චරිතයක්. ඒ සියල්ලටත් වඩා එයා ඉතාම ආදරණීය සැමියෙක්. මට මගේ හෙවණැල්ල එයා කිව්වොත් හරි. ඒ තරමටම තුමිඳු මට සමීපයි. කිසිම විදියකින් දුරස්ථ නැහැ.
මේ සහෝදරයා නාට්‍යයේ සැමියා සහ බිරිඳ ලෙස රඟපාද්දී ඔබට දැනුණ හැඟීම් වගේම අත්දැකීම් ගැන විස්තර කළොත්?
මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයේදී මගේ සැමියාගේ චරිතයට මට මුලින්ම රඟපාන්න ලැබුණේ මගේ ඇත්තම සැමියා එක්ක. ඒක ඇත්තටම විශේෂත්වයක්. ප්‍රසිද්ධියේ කැමරාවක් ඉදිරියේ ආදරය කරන්න කීවාම මට ලැජ්ජා හිතුනා. ඒ දර්ශන රූගත කිරීම්වලදී මට බයක් හිතුණා. එත් තුමිඳු මාව ඒ සෑම වෙලාවකදීම මාව වඩා සැහැල්ලූ කළා. ඒ ඒ දර්ශනවලදී ලොකු සහයෝගයක් දුන්නා. මම බය වෙලා සිටින බව එයා තේරුම් අරගෙන කැමරාව ඉදිරිපස අපි මුහුණ දිය යුතු විදිය ගැන කියා දුන්නා.
සැමියෙකු ලෙස ගෙදරදී ඔහුගේ විදිය මොන වගේද?
එයා හඳුනා ගත්ත දින සිට අද දක්වා එයා ආදරණීය පෙම්වතෙක් සහ සැමියෙක්. මම ඒකයි කිව්වෙ මගේ හෙවනැල්ල වගේ කියලා. මගේ දෙයක් කරන්න යන විටත් මට තනි නැහැ. පාළුවක් දැනෙන්නෙ නැහැ. ඒ පාළුව තනිකම එයා මට දීලා නැහැ. හරිම සරල අතිශයින්ම සුන්දර චරිතයක්. එයා වගේ සැමියකු ලැබීම ඇත්තටම හරි වාසනාවක්.
කළණි කිව්වාම?
කළණි කියන්නෙ යහපත් කියන තේරුමයි
කොහොම කෙනෙක්ද?
හරිම සාමාන්‍යයි. සරලයි. ඒ වගේම ආදරේ එක්කම ජීවත් වන චරිතයක්. වෙලාවකට ඒ නිසාම පොඩි ළමයෙක් වගේ කියලා යාළුවෝ මට විහිලූත් කරනවා.
ඔබගේ පවුලේ අය ගැන කිව්වොත්?
අම්මයි, තාත්තායි, අක්කයි, නංගියි. අම්මා තාත්තා දෙන්නම රජයේ සේවකයින්. අක්කා බැංකු ක්ෂේත්රයේ. නංගි උසස් පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.
”සහෝදරයා” නාට්‍ය ඔබට දැනෙන්නෙ කොහොමද?
ඒ වගේ තවත් අපූරු නාට්‍යක මට රඟපාන්න ලැබුණේ ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම පිරිසක් එක්කයි. ඒක ඇත්තටම පුදුම ලොකු අවස්ථාවක්. ජීවිතයට මට එයාලගෙන් ලැබුණු දේ බොහොමයි. මම වගේ අලූත් කෙනෙකුව මේ වගේ චරිතයකට තෝරා ගැනීම ගැන නාමල් සර්ට මගේ ස්තූතිය.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ