සම්මානයක් කියන්නේ වගකීමක්
'හපන් පැදුර' වැඩසටහනේ ළමා ශිල්පීන් අද කලා ක්ෂේත්රයේ විවිධ ඉසව් නියෝජනය කරනවා. හපන් පැදුරෙන් අප දුටු දිනූපා කෝදාගොඩ අද ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසද කලා ක්ෂේත්රයේ දකින්න පුළුවන්. පසුගිය දා නිමාව දුටු රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානය හිමිකරගැනීමට දිනූපා සමත් වුණා. ඒ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍යයෙන්. එය සතුට බෙදාහදා ගැනීමට දිනූපා 'සාරවිට' අපි සමග එකතු වුණේ මේ විදිහටයි.
සම්මානයක් ලැබීමේ සතුට භුක්ති විදින්නේ කොහොමද?
ලොකු සතුටක් තිබෙනවා. වීරයා ගෙදර ඇවිත් කියන්නේ මගේ පළමු දීර්ඝ ටෙලිනාට්‍යයි. පළමුවැනි දීර්ඝ ටෙලි නාට්‍යයෙන් මෙවැනි සම්මානයක් ලැබුණු එක ගැන නිහතමානී සතුට භුක්ති විඳිනවා.
'වීරයා ගෙදර ඇවිත්' නාට්‍යයේ ඔබේ චරිතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ඇත්තටම නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන්ගේ ඉඳලා සාමාන්‍ය මට්ටමේ ප්‍රේක්ෂකයා දක්වා හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. ඇත්තටම මම සම්මානයක් බලාපොරොත්තු වුණේ නැහැ. පළමුවැනි දීර්ඝ ටෙලිනාට්‍ය නිසා හැමතිස්සෙම මට තිබුණේ අභියෝගයන්. ඒත් නාට්‍ය විකාශය එන්න පටන් ගත්තට පස්සේ හොඳ ප්‍රතිචාර තමයි ගොඩක් වෙලාවට ලැබුණේ.
සම්මානයක් කියන්නේ වගකීමෙන් කටයුතු කරන්න ලැබෙන අවස්ථාවක්. ඒ වගකීම ඔබ භාර ගන්නේ කොහොමද?
ඇත්තටම සම්මානයක් කියන්නේ වගකීමක්. සම්මානයක් කලාකරුවෙකුට ලැබෙනවා කියන්නේ කලා කරුවාගේ වගකීම තවත් වැඩි වෙනවා කියන එක. කොහොමද ඉදිරියේදී කලාවේ දියුණුවට වැඩ කරන්නේ, මේ තිබෙන ප්රමිතීන් තවත් දියුණු කරන්නේ කොහොමද සහ ලැබෙන චරිතයට හෝ ගීතයට උපරිම සාධාරණයක් ඉටු කරන්නේ කොහොමද කියන වගකීම අපිට සම්මානයත්සමගම ලැබෙනවා. මම ඒ වගකීම භාරගෙන ඉදිරියටත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ මුලින්ම දකින්නේ හපන් පැදුරෙන්. ඒ කාලේ ඉදලා බලාපොරොත්තුවක් තිබුණද කලා ක්ෂේත්රයට එකතු වෙනවා කියලා?
ඇත්තටම මට පොඩි කාලෙ ඉඳලා එහෙම ආසාවක් තිබුණා. එහෙත් රංගන ශිල්පිනියක් විතර වැඩ කරන්න පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. සංගීතය පැත්තෙන් සම්බන්ධ වෙන්න තමයි ආසාව තිබුණේ. ඒ නිසාම වෙන්න ඇති මම ගායනය ගැන වැඩිදුර හදාරන්න පෙලඹුණේ.
හපන් පැදුර සාමාජිකයො තවම එකතු වෙනවද?
ඔව්. හැමදාම හමුවුණේ නැති වුණාට ඉඳලා හිටලා අපි හමුවෙනවා. ඒ වුණාට ඒ හිත මිතුරුකම් තාමත් එහෙමයි. මට නලින කෂ්මිරව නම් බොහෝවිට වේදිකාවේදී හමු වෙනවා.
ගායිකාවක් විදියට ඔබගේ ප්‍රේක්ෂකයෝ ඔබව පිළිගන්නේ කොහොමද?
මාව අගය කරන මගේ දේවල් රසවිඳින ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මම හිතන්නේ නැහැ මම මුළු රටේම ප්‍රසිද්ධ ගායිකාවක් කියලා. නමුත් මම දෙයක් කරලා රසවිඳින්න දෙනකල් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා.
බොහෝවිට ඔබ රංගනයෙන් දායක වෙන හෝ සංගීතයෙන් දායක වන නිර්මාණ වානිජ ධාරාවේ නිර්මාණ නොවෙයි. ඇයි ඒ ධාරාවෙන් පිට නිර්මාණකරණයේ යෙදෙන්නේ?
ප්‍රධාන ධාරාව සහ විකල්ප ධාරාව කියලා හඳුන්වන එකට මම පෞද්ගලිකව කැමති නැහැ. අපේ හැමතිස්සෙම commercial සහ art කියන එක වෙනන් කරලා තිබෙන්නේ. වාණිජ නිර්මාණ වලට අපේ විරුද්ධත්වයක් නැහැ. වාණිජ නිර්මාණ ඇතුලේ art තියෙන්න ඕනේ. Art ඇතුළෙත් art තියෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ නැහැ මම නියෝජනය කරන්නේ විකල්ප ධාරාව කියලා. මම විශ්වාස කරන්න මේ හැම එකක්ම art. එනිසා මෙම විශ්වාස කරන දේ වෙනුවෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ සහ මම වැඩ කරන්නේ.
තීව්ර සංගීත කණ්ඩායම ගැනත් කියමු?
තීව්ර සංගීත කණ්ඩායම කියන්නේ මගේ සැමියාගේ (නදීක වැලිගොඩපොල) සංගීත කණ්ඩායම. එයා පාසල් යන කාලේ කාලෙ එයාගෙ අලුත් එක්ක තමයි මේක ආරම්භ කරල තියෙන්නෙ. 2007 දී කලා කටයුත්තකදි අපි මුණ ගැහෙනවා. කාලයත් එක්කම අපි ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. 2008 වසරේදී එයා තීව්ර ප්‍රසංගය ලයනල් වෙන්ඩ්ට් එකේ පවත්වනවා. මම ඒ ප්‍රසංගයේ female vocalist විදිහට සම්බන්ධ වෙනවා. දැනට තිව්ර නමින් record label එකක්, music academy එකක්, studio එකක් තිබෙනවා. ඉදිරියටත් තීව්ර සංගීත කණ්ඩායමේ අලුත් නිර්මාණ ගොඩක් ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්.
ඔබ වැඩියෙන්ම කැමති කැමැති රංගනයටද ගායනයටද?
ඒක මට හරි අමාරු ප්‍රශ්නයක්. රංගනය ගායනය නර්තනය කියන ක්ෂේත්‍ර තුනේම මම එක හා සමානව වැඩ කරනවා. ඒ නිසා මට ඒ තුනෙන් එකකට වැඩියෙන් කැමති කෙළ කියන්න බැහැ.
සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් නැද්ද?
සිනමාව මට තියෙන්නෙ ඉතා පොඩි අත්දැකීමක්. ඒ ධර්මසේන පතිරාජ මහත්තයාගේ සක්කාරං චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වුණා.
ඉදිරි වැඩ කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කරමු?
මගේ ගීත නිර්මාණ කිහිපයක වැඩ කටයුතු කරගෙන යනවා. මගේම ගීත ඇල්බමයක් නිකුත් කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මගේම කොන්සර්ට් එකක් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා.