සමහරු මොඩ්ලින් කියලා හිතන්නේ නිරුවත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-13-ent-79

නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන අංජනාට අප සාරවිට ඉඩක් වෙන් කරන්න හිතුවා. ඇය මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වෙන අංජනා සාරවිට කතාබහට එකතු වුණේ මේ විදිහට.

 

ඔබ ගැන මුලින්ම හඳුන්වා දුන්නොත්?2019-03-13-ent-80

මගේ නම අංජනා ජයසිංහ. මගේ පදිංචිය ගණේමුල්ලේ. මම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නර්තන ශිල්පිනියක් විදිහටයි. මේ වෙද්දි රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා.

 

කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම පොඩිකාලේ ඉඳලාම නර්තනය හැදෑරුවා. ඊටපස්සේ මගේම කියලා නර්තන කණ්ඩායමක් හදාගත්තා. මම ජනමාධ්‍ය පාඨමාලාවක් කරා. එහිදී පාඨමාලාව කරපු සර්ගේ උපකාරයෙන් මට මුලින්ම රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

 

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මම මේ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. මගේ පලමු ටෙලි නාට්‍ය තමයි දෙයියන්ගේ රටේ ටෙලි නාට්‍යය. ඊටපස්සේ මම සම්බන්ධ වෙනවා ටිකිරි රත්නායකගේ මුතුකුඩ ටෙලි නාට්‍යයට. මුතුකුඩ නාට්‍යයේ “ඇඹලි” කියන චරිතයට මම රංගනයෙන් දායක වෙනවා. එතකොට කොඩිගහ යට කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක තවම විකාශය වෙලා නැහැ. එතකොට ස්වාධීන රූපවාහිනියේ සහ සිරසේ ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබී තිබෙනවා. ඊට අමතරව මගේ නර්තන කණ්ඩායමේ වැඩකටයුතු සහ අපේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ කරගෙන යනවා.

 

සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවාද?

දැනටත් ආරාධනා කිහිපයක් ලැබී තිබෙනවා. පිටපතක් සමග මට ගැලපෙන චරිතයක් ලැබුණොත් මම දායක වෙනවා.

 

ඔබේ නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?

නර්තන කණ්ඩායම පටන් අරගෙන දැන් අවුරුදු දෙකහමාරක් පමණ වෙනවා. කණ්ඩායමේ සමාජිකාවන් දහ දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මම නර්තන පංති කරනවා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද කලා වැඩවලට?

ගෙදරින් අම්මා කැමති වුණා. තාත්තා මුලදි නම් කැමති වුණේ නැහැ. නමුත් ටී.වී එකේ දැකලා දැන් තාත්තගෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා.

 

අද නිරූපණ ක්ෂේත්‍රයේ සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා නිරුවත මාර්කට් කරනවා. ඒකට හේතුව මොකද්ද?

සමහරු මොඩ්ලින් කියලා හිතන්නේ නිරුවත. මොඩ්ලින් කියලා කියන්නේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි. ඒ නිසා මේ ක්ෂේත්‍රය දිහා මිනිස්සු බලන්නේ අමුතු ඇහැකින්. ක්ෂේත්‍රයේ හැමෝම එහෙම නැහැ. නමුත් යම් පිරිසක් ඉන්නවා. නිරුවත භාවිතා කරන විදිහයි වැරදි. නිරුවත භාවිතා කිරීම අනිවාර්යයි කියලා කොතැනකවත් සඳහන් කරලා නැහැ. නමුත් ඒක කලාත්මකව භාවිතා කිරීමේ වැරැද්දක් නැහැ. අද ලංකාවේ මියුසික් වීඩියෝවක් ගත්තොත් ගොඩක් ඒවගේ තියෙන්නේ නිරුවත. නිරුවත පෙන්නුවාම විව්ස් වැඩි වෙනවා කියලා එයාලා මතයක් හදාගෙන තියෙන්නේ. නමුත් එවැනි මියුසික් වීඩියෝවක් සහ හොඳ මියුසික් වීඩියෝවක් ගත්තොත් ඒ දෙක අතරේ විව්ස්වල ලොකු වෙනසක් පේන්න නැහැ. මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තියෙනවා නිරුවත කියන්නේ මාර්කට් එකක් කියලා. නමුත් ඒක වැරදියි.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ නර්තන කණ්ඩායම හොඳ තැනකට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට රංගන ක්ෂේත්‍රයේ දක්ෂම සහ හොඳ තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඔබේ ගමනට උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මගේ අම්මයි තාත්තයි ගොඩක් උදව් කළා. එතකොට චන්දන වරාවිටගේ සර්. එතකොට දිලීප අයියා. එයාලා මට ගොඩාක් උදව් කරා මේ තැනට එන්න.

 

කැළුම් දේවින්ද