මේ විවාහ තවත් දික්කසාදයක් වෙන්න බැහැ
බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙස නෙහාරා පීරිස් හැදින් විය හැකිය. මේ වනවිට මවක් වී සිටින ඇය ඉතාමත් කාර්යය බහුල වී සිටින්නේ ඇයගේ දියණිය සමගයි. ඇයගේ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙවර ‘අද’ තරු කතාබහට ඇය මෙලෙස එක් විය.
මේ දවස්වල කාර්යය ගෙදරම කාර්යය බහුලයි නේද?
ඔව්. මේ දවස්වල ගෙදරම තමයි කාර්යය බහුල වෙලා තියෙන්නේ. මොකද බබාගේ වැඩ කටයුතු එක්ක තමයි කටයුතු වෙන්නේ. දැන් බබාට මාසයක් ඉවරයි. කාලය යනවා තේරෙන්නේ නැහැ. නෙහාරා ඩාන්ස් ස්ටූඩියෝ එක නැවත විවෘත කරා. ඉතිං ඒකේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.
%නොහාරා ඩාන්ස් ස්ටූඩියෝ^ එකේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ?
දැන් මම පන්ති පවත්වන්නේ නැහැ. නමුත් Dancing Professional අය තමයි පන්ති පවත්වන්නේ.
ගෙවනු වසර ගැන මොකද හිතෙන්නේ?
2020 කොච්චර වේගයෙන් ගියාද කියනවා නම් හිතා ගන්නවත් බැහැ. කොරෝනා ප්රශ්නය නිසා මුළු ලෝකයේම වැඩ අඩ පන වෙලා තිබුණා මාස ගණනාවක්. ගෙදරට වෙලා ඉන්න සිදුවුනා. ඒ දේවල් එක්ක කාලය බොහෝ ඉක්මනට මට නම් ගත වුණා. විශේෂයෙන්ම මට 2020 මාස 09 ක්ම Pregnant නේ. ඉතිං මගේ ජීවිතයේ 2020 කියන්නේ හරි ආකර්ෂණීය අවුරුද්දක්. මොකද Pregnancy එකෙත් මාසෙන් මාසේ යද්දී විවිධ වෙනස්කම්, ඩොක්ටර් ගාවට යන්න තියෙනවා. ඉතිං මම Pregnancy එකත් එක්ක තමයි ජීවත් වුණේ. ඉතිං මගේ දුව ඉපදුනෙත් 2020 දෙසැම්බර් මාසයේ. ඉතිං මට 2020 අවුරුද්ද හරි සුවිශේෂි අවුරුද්දක්.
ඒ කියන්නේ ගිය අවුරුද්ද නෙහාරාගේ ජීවිත වෙනස් කරපු අවුරුද්දක්?
ඇත්තටම මෙහෙමයි. ලෝකයේ බොහෝ දෙනාට ගිය අවුරුද්ද දුක්බර දෙයක් සහ කරදර කාලයක්. නමුත් මට ඒදේ වෙනස් වුණා. මට අවංකවම මේනකත් එක්ක මාස ගනන් කොහෙටවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න පුළුවන් වුණා. ඒකට මං හරි ආසයි. මං හරියට ඒ කාලේ වින්දා.
ඒක දුව වෙනුවෙන්ම ලැබුණු දෙයක් වගෙයි?
ඒ අතින් ඇත්තටම මම වාසනාවන්තයි. රට වහලා තිබුණා. අපේ ක්ෂේත්රය ගත්තත් හැමෝගේම වැඩ නැවතිලා තිබුණා. නමුත් මට ඒ අවුරුද්දේ කිසිම දෙයක් අතපසු වුණේ නැහැ වගේ හැගීමක් ආවා. බබා ගැන හිතන්න ඒ කාලය උදව් වුණා වගේ හිතෙනවා.
ඉතිං අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ගැන කිව්වොත්?
අපි දෙන්නාගේම ව්‍යාපාරය තමයි ^නෙහාරා ඩාන්ස් ස්ටූඩියෝ^ එක. ඉතිං ඒකත් වහලා තියන්න වුණානේ මාස ගනනාවක්ම. ඒකත් ගොඩ නගන්න සැලැසුම් කරලා තියෙනවා. ඊට අමතරව රංගන ජීවිතය ගත්තොත් මම නම් ලෑස්තියි. මම හොඳ නිර්මාණ වලට දායක තව මාස එකහමාරකින් විතර සූදානම්. මොකද Pregnancy එකත් එක්ක මගේ බර වැඩිවෙලා තියෙන්නේ. ඉතිං මට ආසයි ටිකක් මහත අඩු කරලා හොඳ නිර්මාණ වලට දායක වෙන්න. ඉතිං තව මාස එකහමාරකින් විතර මම සූදානම් රංගනයට දායක වෙන්න.
දුවත් එක්ක කාලය ගත කිරීම ගැන මොකද හිතෙන්නේ?
බබෙක් නැති කාලේ රංගනයත් එක්ක කාර්යය බහුල වෙලා ඉද්දී හිතුනා මේ සඳහා හිතා ගන්නවත් කාලයක් නැහැ කියලා. මොකද මට එක්තරා කාලයක් තිබුණා නිදා ගන්නවත් වෙලාවක් තිබුනේ නැති. ශූටින් යනවා, නිවේදන කටයුතු කරනවා, මියුසික් ෂෝ වලට ගිහින් සිංදු කියනවා. හැම දේවල් වලටම මම සහභාගි වුණා. ඒක තමයි මම කාර්යය බහුලයි කියලා දැන ගෙන හිටියේ. නමුත් බබා ඉපදුනාට පස්සේ මම කාර්යය බහුල වුණා. ඒක වෙනමම කාර්යය බහුල කමක්. මොකද වගකීම වැඩියි ඒ කාර්යය බහුලත්වයේ. වෙලාවට කිරි දෙන්න ඕනේ, ඒ අඩන කොට මොකටද අඬන්නේ කියලා බයයි. මොකද එයාට කියන්න පුළුවන් වෙන්නේ අඬලා විතරනේ. අම්මා කියන දේ මට අලුත් දෙයක්. ඉතිං ඒ වෙනුවෙන් මේනකගෙන් සහ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මේනකත් නිදිමරනවා මේ දේවල් වලට. සමහර වෙලාවට අපි රණ්ඩු කරනවා බබාව වඩා ගන්න. එයත් හරි ආසයි. ඒක වගකීමක් එක්ක කාර්යය බහුලත්වයක් වුණාට ඒක මම ආසාවෙන් විඳිනවා.
ඔබ දෙදෙනා මේ සතුට බෙදා ගන්නේ කොහොමද?
අපි දෙන්නා යාළුවෙලා, කසාද බැඳලා මේ මාසෙට අවුරුදු 10 ක් වෙනවා. අපි කසාද බඳින කාලේ ඉඳන්ම ඉලක්ක තිබුණා. ගොඩක් අය ඇහැව්වා ඇයි බබෙක් හදන්නේ නැනත්තේ, ඒ දේවල් පරක්ක කරන්නේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහැව්වා. මොකද මේනකට ලොකු උවමනාවක් තිබුණා ඉහළ අධ්‍යාපනය ලබන්න. ඒ දේවල් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ ඇමරිකාවේ. මොකද මේනකගේ තාත්තාගේ හීනයක් වෙලා තිබුණා කවදා හරි මේනක ඇමරිකාවට යවලා ඉහළ අධ්‍යාපනය ලබා දෙන්න. නමුත් ඊට කලින් එයා නැති වුණා. එතකොට මම මේනකගේ ජීවිතේ නැහැ. ඒක තමයි මේනකගේ තිබ්බ හීනේ. අපි කසාද බැඳලා ඒ අවුරුදු වලට සැලැසුම් කරා ඒ අවුරුද්දු වලට ඒ ඒ දේවල් කරන්න. රටකට ගිහිල්ලා ඒක අලුත්ම ජීවිතයක් වුණා. රස්සා කරනවයි, ඉගෙන ගන්නවයි අතර බබෙක් හදන එක අමාරු නිසයි ඒක පස්සට දාන්න සිද්ධ වුණේ. අපි බැන්ද දවසේ ඉඳලම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි බබෙක් හදන්න ඕනේ කියන එක. නමුත් කල්දාන්න වුණාට හරි වෙලාවට සිදුවෙලා තියෙනවා. ඒකත් දෙවියන් වහන්සේගේ තෑග්ගක් හැටියට හරි වෙලාවට අපිට ලබා දීලා තියෙනවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ.
අවුරුදු 10ක් තුළ එකට ජීවිතය අභියෝග සහ ප්‍රශ්න එක්ක ගෙන යාම දකින්නේ කොහොමද?
හැමෝටම ජීවිතේ උස් පහත් තැන් තියෙනවා වගේ අපිටත් තියෙනවා. අපි දෙන්නට ජීවීතේ ගෙන යාම ටිකක් ලේසි වුණා. මොකද තේරුම් අරගෙන ජීවත් වෙන්න අපිට අත්දැකීමක් තිබුන නිසා. අපි දෙන්නගේම ජීවිත වලට කලින් අත්දැකීමක් තිබුණා. මටත් මේනකටත් දෙන්නටම. ඒ විවාහය අසාර්ථක වෙන්න හේතු තිබුණා. රටේ ලෝකයේ මොනා කිව්වත්, එක එක කතා කිව්ව. ඒ නිසා අපි දෙන්නම යාළු වුණ දවසේ ඉඳන්ම හිතා ගත්ත දෙයක් තමයි අපි හොඳින් තේරුම් අරගෙන මේ විවාහ තවත් දික්කසාදයක් වෙන්න බැහැ කියන දෙයයි. ගොඩක් අය එහෙමත් බලා ගෙන හිටියා. ගොඩාක් එක එක කතා කිව්වා අපිට. %ඔය යාළුවුණාට ඕක කැඩෙනවා^, ඔය බැන්දට ඕක කැඩෙනවා. ගොඩක් දෙනා මඩ ගැහැව්වා, සහ කැත කතා කිව්වා. තවමත් සමහර අය කියනවා. අර ඇත්ත කතාව දන්නේ නැතුව. කමක් නැහැ. දෙවියන් වහන්සේ ඉන්නවානේ. එයා ඔක්කෝම බලා ගන්න නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතිං කොහොම හරි අපිට අසාර්ථක විවාහය නිසා යාළු වුණ දවසේ ඉඳලා අපි කරන දේවල්, ගන්න තීරණ ගැන ලොකු තේරුම් ගැනීමක් එක්ක තමයි කටයුතු කලේ. තර්ක නැතුව නෙමෙයි. නමුත් ඒ දේවලුත් පාලනය කර ගන්න විදිහක් තිබුණා. අපි දෙන්නගේ යම් කිසි දෙයක් ගැන තර්කයක් තිබුනොත් ඒ වෙලාවේම දෙන්නට දෙන්නා Sorry කියාගෙන ඒක එතනින් ඉවර කර ගන්නවා. රණ්ඩු වෙලා, තරහා වෙලා කවදාවත් අපි නින්දට යන්නේ නැහැ. මේ අවුරුදු 10ටම එහෙම වෙලා නැහැ. හරිම සුන්දරයි මේනකත් එක්ක මේ ගත කරන ජීවිතය.
සමාජය තුළින් කොපමණ මඩ ගැසුවත්, මොනම දේ කිව්වත් ඔබට ආදරය කරන රසික් පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මොනාද කියන්නේ?
ඇත්තටම ඒ අය වෙනුවෙන් කියලා නිම කරන්න බැරි ආදරයක් තියෙනවා. ස්තූතියි කියන දේ කියලා නිම කරන්න බැහැ. අපිට මෙහෙම ආදරය කරනවාට. ජීවිතයේ උස් පහත් තැන් වලදී අපිව ශක්තිමත් කරමින් අපිත් එක්ක අදටමත් මේ ගමන යනවා. ඒ රසික රසිකාවියන් නිසා තමයි අද අපි මේ ක්ෂේත්රයේ බැබලෙමින් මේ තැන ඉන්නේ. ක්ෂේත්රය තුළින් අවුරුදු 3ක් ඈත් වෙලා හිටියත් නැවත ආවාම ඒ අපිට ආදරය කරන අය අපිව ආදරෙන් පිළිගත්තා. රූපවාහිනි නාලිකා, පුවත්පත් වල අය අපි ගැන ආදරෙන් කතා කෙරුවා. හැමෝටම ස්තූතියි කියනවා. ඒ වගේම රසික රසිකාවන්ට ගොඩාක් ස්තූතියි කියනවා. දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ ඒ අයව පිනවන්න තමයි. ඒ නිසයි අපි මේ ක්ෂේත්රය තුළ නියැලිලා ඉන්නේ. හොඳ නිර්මාණ වලින් ඒ අයට සතුටු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඩිලාන් ක්‍රිෂාන්ත