'සඳඑළිය' මම ප්‍රධාන චරිතයක් කරන පළමු ටෙලි නාට්‍යය
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ශාන්ත සොයිසාගේ ‘මේඝා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඇය ඉදිරියේ දී සිනමාවටද පිවිසීමට සූදානමින් සිටියි. අද ‘සාරවිට’ තරු කතා බහ දිගහැරෙන්නේ ඇය සමගය.
මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි ඔබව දකිනවා?
ඔව්, දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිදූ’ හා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘කොන්කොළ දෝණි’ ටෙලි නාට්‍යයවලින් මාව මේ දිනවල දකින්න පුළුවන්.
ඔබ ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයකුත් ඉදිරියට එන්න තියෙනවා නේද?
ඔව්, ‘සඳ එළිය’ කියලා. එක තමයි මම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවන ප්‍රථම වතාව. එහි මා ‘නිර්මලා’ කියන චරිතය තමයි නිරූපණය කරන්නේ.
රසික ප්‍රතිචාර නම් මේ දිනවල ඉහළින්ම ලැබෙනවා ඇති?
ඔව්, බොහෝ දෙනෙක් කතා කරන්නේ ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘අංජනා’ කියන නමින්. ඊට අමතරව ‘කොන්කොළ දෝණි’ ටෙලි නාට්‍යයේ මා කරන චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. එහි මා නිරූපණය කරන්නේ මානසික ආබාධයකින් පෙළෙන තරුණියකගේ චරිතයක්.
නිතර ටෙලි නාට්‍යය හරහා දකින එක අවාසි නැද්ද?
එකදිගට පෙනී හිටියා කියලා මට නම් අවුලක් නැහැ. මම හිතනවා ඒක දිගට පෙනී ඉඳලා එකපාරටම නැතිව ගියොත් තමයි තියෙන ලොකුම ප්රශ්නය. ඒ නිසා නිර්මාණවලට දායක වෙන්න ලැබෙන කාලේ හොඳට තෝරා බේරාගෙන ඒවාට දායක වෙන එක තමයි හොඳ. කොහොමත් කලා ක්ෂේත්රය තුළ මම යන්නේ හෙමින් ගමනක්.
ඔබ ක්ෂේත්රයට පිවිසෙන්නේ?
2015 වසරේ දී ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ 'අවුරුදු කුමරිය' තරගයේ අවසන් තරගකාරියන් අතරට මම තේරී පත්වුණා. අවුරුදු කුමරිය තරගය සඳහා තමයි මම පළමුවෙන්ම දායක වුණේ. ඊට පස්සේ, හර්ෂණ කපුආරච්චි ගායනා කළ ගීතයක රූප රචනාවකට. ස්වාධීන රූපවාහිනි නාළිකාව තුළ විකාශය වුණ ශාන්ත සොයිසා මහත්මයාගේ 'මේඝා' ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඔය විදිහට තමයි මම රංගනයට ආවේ.
ටෙලි නිර්මාණවලට පමණක් ඔබ සීමා වෙලාද?
චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. එකේ රූපගත කිරීම් මේ මාසේ අන්තිමට වගේ පටන් ගන්නවා.
දැනට දායක වෙලා තියෙන නිර්මාණ ප්‍රමාණය කොපමණද?
ටෙලි නාට්‍යය ගත්තොත් ගොඩක් නැහැ. දැනට 4ක් විකාශය වෙලා තියෙනවා. තවත් එවැනිම ප්‍රමාණයක් විකාශය වෙන්න තියෙනවා. ගීත රූප රචනා වගේම, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම මම දායක වෙලා තියෙනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - සජීව ලක්ෂාන්