සඳ එළිය හැඩ කරන තරු යුවළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-23-ent-105

දේශීය නාට්‍ය කලාවට වැඩි ඉඩක් දීමේ අරමුණ ඇතිව සියත ටී.වී. හෙට සිට (මාර්තු 19) සතියේ දිනවල නාට්‍ය තුනක් විකාශයට ඉඩ සලස්වා තිබෙනවා. සතියේ දිනවල රාත‍්‍රි 7.30 සිට 9.30 දක්වා පෙළ ගස්වා ඇති මේ නාට්‍ය ත‍්‍රිත්වය වන්නේ සඳඑළිය, අපේ ආදරේ සහ නේත‍්‍රාය. එලෙසින් සියත අලූත් පියවරක් තැබූ මොහොතක ‘‘සඳඑළිය’’ හැඩ කරන තරු යුවළ අපි සඳැල්ලට කැඳවීමු.

 

අමිල අබේසේකර2018-03-23-ent-108

අමිල කොහොමද අද දවසේ කටයුතු ?

මාස දෙකක් විතර නිදහසේ ගෙදර ඉඳලා දැන් ආයෙමත් කාර්යබහුල වෙලා. දැන් හුස්මක් ගන්න බැරි තරමට වැඩ.

 

මොන වගේ වැඩ කටයුතු නිසාද?

සියතේ විකාශය වන නාට්‍ය දෙකක එක දිගට වැඩ. මේ නාට්‍ය දෙකම අධ්‍යක්‍ෂණය කරන්නෙ ලක්ෂ්මන් පුෂ්පකුමාර. මේ නාට්‍ය දෙකෙන් එකක් කර තිබෙන්නෙ අංගම්පොර සටන් ක‍්‍රම මූලාශ‍්‍ර කරගෙනයි. ඒක ටිකක් වෙනස් නිර්මාණයක්. මේ නාට්‍ය දෙකට අමතරව නිල්වලා ආයතනයෙන් කෙරෙන අලූත්ම නාට්‍යයේත්, ජී. නන්දසේන මහතාගේ අලූත්ම නිර්මාණය වන සත්වෙනි දවස නාට්‍යයේ රංගනයටත් එක්ව සිටිනවා. සත්වෙනි දවස චිත‍්‍රපටයේ කතාව තමයි මේ විදියට ටෙලි නිර්මාණයක් ලෙස නිර්මාණය වන්නෙ. මේ නාට්‍ය හතරම මේ මාසයේ සිට විකාශය වෙනවා. ඒ නිසයි හුස්මක් ගන්න බැරි තරමට කාර්යබහුල වෙලා ඉන්නෙ.

 

කොහොමද යුග දිවිය එහෙම.

පසුගිය දිනෙක විවාහ සංවත්සරයත් අපි සැමරුවා. මගේ උපන් දිනයත් සැමරුවා. බිරිඳ සේවය කරන්නෙ එමිරේට්ස් ගුවන් සේවයේ නිසා මං වැඩ නැති දිනවල බිරිඳ එක්ක ඉන්නෙ ඩුබායිවල. එක්කො එයා මෙහේ. නැත්නම් මම එයා එක්ක එහේ. අපි ඉතා හොඳින් ජීවිතේ ගෙවනවා.

 

ඩුබායි ගෙවන ජීවිතය දැනෙන්නෙ කොහොමද?

ඇත්තම කිව්වොත් ඩුබායි ගත කරන දවස් හරිම සුන්දරයි. හරිම නිදහස්. මම හරි ආසම තැනක්. හරිම නිස්කලංකව අපේ පාඩුවෙ ඉන්න පුළුවන්. හරිම සාමකාමී වාතාවරණයක් තියෙන රටක්.

 

එදා ඔබගේ තේරීම වූ බිරිඳ ‘තේජා’ ගැන අද ඔබට හැෙඟන්නේ කොහොමද?

ඇය දැනහඳුනාගෙන ඊට පසුව විවාහ වුනෙ සම්පූර්ණ කාලය ගත්තාම වසර 13ක් වෙනවා. එදා මගේ තේරීම සියයට සියයක්ම නිවැරදියි. ඇය හමුවීමත් සමඟ මගේ ජීවිතයත් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා. ඊට පෙර තිබුණු නිදහසේ එහෙට මෙහෙට පාවේවී ගත කළ ජීවිතයෙන් ඈත්වෙලා වගකීම් එක්ක හිතන්න පටන් ගත්තා. ඇය හමුවූ මුල්ම දිනයේදීම මට තේරුණා මැරෙනකල්ම මගේ ජීවිතය තියෙන්නෙ එයා එක්ක කියලා.

 

බිරිඳ රගපානවට අමිල කැමතිද?

එයා එයාගේ වෘත්තියෙන් ඉහළට ගිහින් ඉන්නෙ. වෘත්තියෙන් වගේම විවාහ ජීවිතයත් ඇය සමබරව ගෙනයන යහපත් බිරිඳක්. මගේ රංගනයේ අඩුපාඩු පවා පෙන්වලා දෙනවා. එයා විලාසිතා මෝස්තර නිර්මාණයටත් දක්ෂයි. දැන් එයාගෙම නිර්මාණ ඇතුළත් සාරි ඩිසයින් කරනවා. ඒවාට හොඳ ඉල්ලූමක් තියෙන්නෙ. මාත් එයාට ඒ නිර්මාණාත්මක වැඬේට හැකි විදියට උදව් කරනවා.

 

දුල්ෂාන්

‘‘සඳ එළිය’’ ටෙලිමාලාව අමිල සමඟ හැඩ කරන කවින්ද්‍යා දුල්ෂානි.

 

දුල්ෂානි ඔබ ගැන සඳහනක් කළොත්?

මගේ ගම මල්වාන. වයස අවුරුදු 21 යි. අම්මා නීති උපදේශිකාවක්. තාත්තා සේවය කරන්නෙ ටෙලිකොම් ආයතනයේ. මම පවුලේ වැඩිමලා. නැගණියන් තුන් දෙනෙක් ඉන්නවා.

 

‘මල්වානෙ’ ගම කිව්වනෙ. රඹුටන් එහෙමත් ඇති නේද?

වාරෙට තමයි. අපට ඇති වෙන්න තියෙනවා. හැබැයි ඒ ටික යාළුවන්ට බෙදලා දානවා. සමහර වාරවලදී බෙදන්න තරමට රඹුටන් හැදෙන්නෙත් නැහැ.

 

දුල්ෂානි ඉගෙන ගත්තෙ?

සාමාන්‍ය පෙළ දක්වා දොම්පේ දේවි බාලිකාවෙන්. උසස් පෙළ දක්වා ගම්පහ සිද්ධාර්ථයෙන්.

 

ඇයි රඟපෑමට හිත ගියේ.

ස්වාධීන රූපවාහිනිය නිසා තමයි මට රංගනයට මංපෙත් විවර වුණේ. 2015 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය වූ පසුව තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. ‘මේඝා’ පළමු නාට්‍යයි. ඊට ලැබුණු ප‍්‍රතිචාරවලින් පසුව සහ මිනිසුන්ගේ ආදරය එක්ක රූගපෑම ගැන දිගටම ආසාවක් ඇති වුණා. මේඝා ගෙන් පසුව නාට්‍ය කීපයක රඟපෑවා. නමුත් ප‍්‍රධාන චරිතයක් රඟපාන්නෙ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්‍ෂණය කළ සියතෙ විකාශය වන ‘සඳ එළිය’ නාට්‍යයයි. එහි මම රඟපාන්නෙ ‘නිර්මලා’ නමැති චරිතයයි.

 

‘නිර්මලා’ කොහොම චරිතයක්ද?

ගමේ දුප්පත් පවුලක යුවතියක්. එයා කොළඹ රස්සාවකට ආවාම අනතුරකට ලක්වෙනවා. පසුව ආයෙත් ගමට යනවා. සුව වුණාට පස්සෙ ආයෙත් කොළඹ එනවා. ඒ ආවම වෙන දේ ‘සඳඑළිය’ නරඹලාම බලන්න.

 

සඳඑළියෙ පෙම්වතුන් දෙදෙනෙක් සිටිනවා. ඔබගේ සැබෑ ජීවිතයේ සිහින කුමරා කවුද?

අපෝ තවම මගේ වයස 21 යිනෙ. තවම සිහින කුමරෙක් නැහැ.

 

කරාටේ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කරලලූ තියෙන්නෙ නේද?

කරාටේ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළා. ඊට අමතරව නර්තනයත් ප‍්‍රගුණ කළා. තවමත් කරමින් සිටින්නෙ.

 

පාසල් යන කාලයේ සටන් ජවනිකා කළා කියලත් ආරංචියි?

ගමේ පාසලේ සිට නගරයේ පාසලට ගියාම කීපදෙනෙක් මට රැුග් කරන්න ආවා. ඔයා දන්න කරාටියක් නැහැ. අරවා මේවා කියලා මට එක එක කියන්න පටන් ගත්තා. ඉතින් බැරිම තැන මම දන්න ශිල්පයේ තරම ටිකක් පෙන්නුවා. එදායින් පස්සෙ කවුරුවත් විහිළු කරන්න ආවෙත් නැහැ. රැුග් එක දෙන්න ආවෙත් නැහැ. ඉන්පස්සෙ මගේ හොඳම යාළුවා වුණේ එදා මට රැුග් දුන්න මිතුරියයි.

 

ඔබට යාළුවෝ කතා කරන්නෙ?

‘කවී’ කියලයි.

 

සඳඑළියෙ වෙච්ච සිදුවීම් ගැන කිව්වොත්?

මා එක්ක ප‍්‍රධාන චරිතය රඟපාන අමිල අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. රූපගත කිරීම්වලදී එක් වතාවක වඬේ විකුණමින් දුම්රියේ යන දර්ශන පෙළක් තිබුණා. සමහර මිනිස්සු කැමරාවක් තියෙන බව දුටුවෙ නැහැ. මාව වැඩි දෙනෙක් දන්නෙත් නැති නිසා. එයාල හිතුවෙ ඇත්තටම වඬේ විකුණන තරුණියක් කියලයි. වඬේ... වඬේ... මල්ලක් රුපියල් 100යි, කියමින් ඒ රූපගත කිරීමට මුහුණ දුන්නා. සමහර මිනිස්සු ඇත්තටම සල්ලි දීලා වඬේ ගත්තා.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

  2018-03-23-ent-107 2018-03-23-ent-106