සජීවී වැඩසටහන්වලට සහභාගී වී ඒ අවදානම ගන්න මම කැමතියි
රූපවාහිනි නිවේදිකාව මෙන්ම තම ව්‍යාපාර කටයුත්තක් සිදුකරන ඇය ඉතා සෙමින් ගමනක් යමින් සිටින්නීය. නිවේදිකාව ලෙස වසර 08කට පෙර අත්පොත් තබන ඇය නමින් අචලා කරුණාරත්නයි. මේ තාක්දුර ඇය ආ ගමන පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙසින් සම්බන්ධ වූවාය.
ඔබ කවුද? මොනවද කරන්නේ?
මගේ නම අචලා කරුණාරත්න. මම රූපවාහිනී වැඩසටහන් නිවේදන කටයුතු කරනවා.
ඒ කියන්නේ ඔබ වෘත්තීමය නිවේදිකාවක්ද?
ඔව්. වෘත්තීමය වශයෙන් වැඩසටහන් නිවේදන කටයුතු කරනවා. ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරනවා. නිවේදනය මගේ විනෝදාංශය කියන්නත් බෑ. මම පාසල් කාලයේ ඉඳන්ම ආස කළ දෙයක්. එය දියුණුකරගෙන වෘත්තීය ලෙස තෝරාගෙන ඉන්නවා.
ඔබේ ඒ වෘත්තීය ගැන කතා කරමු.
2009 වර්ෂයේ ලක් FM රේඩියෝවේ නිවේදන කටයුතුවලින් තමයි මගේ ක්ෂේත්‍රයට පැමිණීම සිද්ධ වෙන්නෙ. ජාතික රූපවාහිනියෙ තමයි මම වැඩසටහන් නිවේදන කටයුතු කරන්නේ. 2009 අවසානයේදී තමයි මම ඒ ආයතනයට සම්බන්ධ වුනේ. ‘හිරු වියන’ සංගීත වැඩසටහනකින් තමයි මම මුලින්ම රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණේ. ඉන්පසුව ‘ත්‍රී තාල’ කියලා සංගීත වැඩසටහනක් කළා. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. ‘නුග සෙවන’ වැඩසටහන, ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන් සහ ජාතික රූපවාහිනියේ වෙනත් වැඩසටහන්වල නිවේදන කටයුතු කරනවා.
ඔබගේ ව්‍යාපාරය ගැනත් ටිකක් කතාකරමු.
මම සාරි ඩිසයින් කරනවා. ඒ සඳහා හොඳ පාරිභෝගික ඉල්ලුමක් තියෙනවා.
නිවේදන කටයුතු සඳහා දායක වෙන්නේ පොඩිකාලෙ ඉඳන් තිබුණ ආසාවක් නිසාද?
මගෙ ආසාවනම් තිබුණෙ ගුවන් සේවිකාවක් වෙන්න. මම ගොඩක් මහන්සිවෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මට ඕනෙ මම කරන දේ හරියට කරලා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් කරන්න. මගෙ වාසනාවට මට ගොඩක්ම අවස්ථාව ලැබෙන්නේ සජීවී වැඩසටහන් කරන්න. හරිම අඩුවෙන් තමයි පටිගත කරන ලද වැඩසටහන්වලට දායක වුණේ. සජීවී වැඩසටහන්වලට සහභාගී වී ඒ අවදානම ගන්න මම හරිම කැමතියි. රූපවාහිනී මාධ්‍යයක සජීවී වැඩසටහන්වලදී සමහර අවස්ථාවලදී සූදානම්වීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒකට ලොකු දැනුමක් ඕනේ. ඉතිං ඒ අවදානම අරන් වැඩකරන්න මම ගොඩක් ආසයි. ඒක වාසනාවට ලැබිච්ච දෙයක්. මගේ වෘත්තීයට මම ගොඩක් කැමතියි.
වාසනාව කියනදේ විශ්වාස කරමින්ද ඔබ වෘත්තියේ නියැළෙන්නේ?
ඔව්, වාසනාව තියෙන්න ඕන. මොකද මම මේක 2009 ඉඳලා හෙමින් ආව ගමනක්. ඉතිං වාසනාව බලපානවා කියන්නේ ඒකයි. අපි කොච්චර දක්ෂ වුණත් යම්කිසි දෙයක් ලැබෙන මොහොතක් තියෙනවා. එකමවිට පළමුවෙනි මට්ටමේ ඉඳලා පස්වෙනි මට්ටමට යන්න බෑ. දෙක, තුන, හතර කියන මට්ටම් පහුකරගෙන ඒ සඳහා යා යුතුයි. ඉතිං ඒ සඳහා කාලයක් යනවා. ඉවසීම තිබිය යුතුයි. ඉවසීමට යම්දෙයක් ලැබෙනවානම් එය වාසනාව කියලා මම විශ්වාස කරනවා.
වාසනාව කියනදේ සමග දක්ෂකමත් අවශ්‍යයයි නේද?
දක්ෂකමත් බලපානවා. මම සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට සාකච්ඡාමය වැඩසටහන් පැවැත්වීම දක්වා පැමිණෙමින් තිබෙනවා. ඉතිං ඒ සඳහා 2009 සිට මේ දක්වා වර්ෂ ගණනාවක් ගතවෙලා තිබෙනවා. ජාතික රූපවාහිනි නිවේදන කටයුතු, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදන කටයුතු ඊට අමතරව විවිධ ඉසව්වල නිවේදන කටයුතු සිදුකරනවා. දක්ෂතාවක් නැතිව ඒ දේවල් කරන්න අමාරුයි. වාසනාව විතරක් තිබුණනම් මට මුලදීම මේ දේවල් ලැබෙන්න තිබුණනෙ. අපේ කැපවීම දක්ෂතාව ඇතුළු මේ හැමදේම තිබිය යුතුයි. ඕනෑම ක්ෂේත්‍රයක හරි වුවමනාවෙන් දේවල් හොයාගෙන දියුණුකරගන්න ඕන.
ඔබ ක්‍ෂේත්‍රයට පිවිසුනේ ඒ පිළිබඳව හැදෑරීමක් කරලාද?
අපි මේ විදියට උදාහරණයක් ගමු. ඉස්සර කාලේ සැලුන් ගත්තොත් කවුරුවත් සැලුන් දැම්මෙ ඩිප්ලෝමා එකක් කරලාවත්, සහතික අරගෙනවත් රට ගිහින්වත් නෙවෙයි. හැබැයි ඒ සමහරක් අයව අද වෘත්තීය මට්ටමේ හොඳ රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස හඳුන්වනවා. ඒ අයගෙන් දැන් ඉන්න අය සහතික අරගෙන වෘත්තීය මට්ටම දක්වා දියුණු වෙනවා. ඒ කියන්නේ දෙයක් ඉගෙනගන්නවා කියන එක එක තැනකට ගිහින් යම්කිසි කෙනෙක් යටතේම කරන්න අවශ්‍යතාවක් නෑ. තමන් දෙයක් හොයාගෙන ඉගෙනගන්න එක ඊට වඩා හොඳ වෙන්න පුළුවන්.
මම විශ්වවිද්‍යාලයේදී හා බාහිරව ජන මාධ්‍යය පිළිබඳව හැදෑරීමක් කළා. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. දැන් පරපුර තුළ එය තිබේනම් අපි ඒ අවශ්‍යතාවන් සපුරන්න ඕන. නමත් තමන් විසින් අධ්‍යයනයක් කළ යුතුයි. ඒක දුරකථනයෙන් හෝ රූපවාහිනියෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මම කිසිම දෙයක් බැහැර කරන්නේ නැහැ. . හැම චැනල් එකකම, හැම Presenter කෙනෙක්ගෙම හැම වැඩසටහනක් වගේම බලනවා. ඒ දේවල්වලින් එක දෙයක් හරි මම ඉගෙනගන්නවාමයි. ඒක වටින්නෙ මට. අන්න ඒ දේ මට කාවවත් යටතට ගිහින් ඉගෙනගන්න බැහැ. කියවීමෙන් ලබාගන්න දේවලුත් ඒ වගේ. ඒ කියවීමෙන් ලබාගන්න දේවලුත් තැනකට ගිහින් ලබාගන්න අමාරුයි.
මේ දේවල් සමග ව්‍යාපාර කටයුතුත් සමබරව කරගෙන යාමේ හැකියාවක් තියෙනවාද?
අනිවාර්යයෙන්ම. යාළුවොත් එක්ක ගොඩක් දුරබැහැර වැඩකටයුතු සඳහා යන්න වෙනවා. ගමන සඳහාම පැය දෙකක තුනක පමණ කාලයක් වැයවෙනවා. මම ගොඩක් වෙලාවට හැකි හැමදේම සන්සුන්ව කරන්න උත්සාහ කරනවා. කාලය ගොඩක් වටිනවා. සමහර වෙලාවට ගෙදර එද්දී ගොඩක් රෑ වෙනවා. උදේ පාන්දර යන්න වෙනවා. දවල් කාලයේදී ගොඩක් වෙහෙසෙනවා. ඒ ඒ වැඩවලට තියෙන ආසාව සහ කැමැත්ත නිසා ඒ දේවල් දැනෙන්නේ නැහැ. මම කවදාවත් මට මේ දවසෙ අමාරුයි මේ වැඩේ කරන්න බෑ කියලා කිසිම නිෂ්පාදකවරයෙකුට කියලා නැහැ. මට දෙයක් භාර දුන්නොත් මම කැමැත්ත පළ කළොත් ඒ දේ මම අනිවාර්යයෙන් කරනවා.
මෙතරම් දුරක් එන්න ඔබට සහාය දුන් පිරිසක් ඇති. ඒ අය ගැන මතක් කරමු.
මම සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. එහි හිටපු විදුහල්පතිනි ඩී.එල්. පද්මසීලී මහත්මිය මතක් කළ යුතුයි. මගේ අම්මාගෙන් තාත්තාගෙන් පස්සේ මේතාක් දුර එන්න උදවුකළ මාව හඳුනාගත් උතුම් චරිතයක්. ඒ වගේම පවුලේ අය මට හැමදාමත් උදවු උපකාර කරනවා. ඉදිරියටත් එහෙමමයි. ජාතික රූපවාහිනි වර්තමාන සභාපතිවරයා ඇතුළු හිටපු සියලුම සභාපතිවරුන් යටතේ වැඩ කරන හැම දෙනෙක්වම, විශේෂයෙන් මා ගැන විශ්වාස කරලා මට අවස්ථාව ලබාදුන්න අරෝෂා සමරදිවාකර,මොහාන් විජේසිංහ, සුමින්ද තිලකසේන, චූලාංගනී හපුහින්න, ජයමිණි ඉලේපෙරුම, ලක්ෂිත, නිපුන රාජපක්ෂ, සමන් ප්‍රේමරත්න, සම්පත් සී. පෙරේරා ඇතුළු නිෂ්පාදකවරු මම ගොඩක් ආදර ගෞරවයෙන් මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මට අවස්ථාව ලබාදුන් පිරිසටත් මම ස්තූතිවන් වෙනවා.