සංගීතේ 'අමායා' ඔස්සේ රංගනයට පිවිසි ඇය සචිනි
සංගීතේ "අමායා" ඔස්සේ රංගනයට පිවිසි ඇය සචිනි රණවක වන්නීය. මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ශිෂ්‍යාවක් වන ඇය, ලංකාවේ පළමුවැනි වතාවට කාන්තා අංශයෙන් උපාධියක් හිමිකර ගැනීමේ අවස්ථාවට මුහුණ දීමට සූදානම්ව සිටින්නීය. එමෙන්ම ගායිකාවක් ලෙසද දස්කම් පාන ඇගේ කතාබහ මෙලෙස අපි ඔබට ගෙන එන්නෙමු.
මේ දවස්වල "සංගීතේ" රූගත කිරීම සහ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු එක්ක තමයි කාලය ගත කරන්නේ. ඊට අමතරව ෆොටෝ ෂූට් සඳහා දායක වෙනවා.
"සංගීතේ" නාට්‍යයට අමතරව තවත් නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබිලා තියෙනවා. නමුත් යන්න විදිහක් නැහැ "සංගීතේ" වැඩ කටයුතු නිසා.
නීති දාලා තියෙනවාද වෙනත් නාට්‍යය සඳහා සම්බන්ධ වෙන්න එපා කියලා?
නැහැ. කිසිම නීතියක් නැහැ. නමුත් මම දෙරණ ආයතනය එක්ක සම්බන්ධ නිසා මම මේ ටෙලිනාට්‍යය අවසන් වෙනකම් මේ නාට්‍යය පමණයි රංගනයෙන් දායක වෙන්නේ.
මුලින්ම රංගනයෙන් දායක වුණේ "සංගීතේ" ටද?
නැහැ. මම මුලින්ම දායක වුණේ පෝය නාට්‍යයක් විකාශය වුණා %සසල^ කියලා. ඒ නාට්‍යය සඳහායි. ඒකත් දෙරණ නාලිකාවේ තමයි. %සංගීතේ^ නාට්‍යය සඳහා අවස්ථාව ලැබෙන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිසයි. ලක්සිරි සර් තමයි මට කතා කරන්නේ. ඔහු මුලින්ම පෝය ටෙලි නාට්‍යයට අවස්ථාව ලබා දීලා, එහි රංගන හැකියාව බලලා තමයි මට අවස්ථාව ලබා දෙන්නේ. තවත් විශේෂම දෙයක් තමයි. මම රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ ඔක්තෝම්බර් මාසයේ එළිදක්වනවා. දර්ශන රුවන් දිසානායක සර් අධ්‍යක්ෂණය කරපු %ගොවි තාත්තා^ කියලා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තමයි මගේ චිත්‍රපට අත්දැකීම.
"සංගීතේ" සහ ඔබේ ජීවිතය එක්ක ඔබට ලැබිලා තියෙන චරිතේ සමානද?
මගේ ජීවිතේ එක්ක මේ චරිතේ ගොඩක් සමානයි. මොකද මාත් Drummer කෙනෙක්නේ. ටෙලිනාට්‍යය තුළත් මට ලැබිලා තියෙන්නේ ඒ චරිතයම තමයි. නාට්‍යයේ චරිතෙ ගැන කිව්වොත්, දුප්පත් ළමයෙක්. නමුත් ලස්සනට ඇඳලා කරලා ඉන්න කැමති කෙනෙක්. සංගීත භාණ්ඩ තියෙන කඩේක තමයි ඇය වැඩ කරන්නේ. ඒකට එනවා සංගීත කණ්ඩායමක පිරිමි ළමුන් කට්ටියක් මේකට එනවා. ඒ අයට මම ඩ්‍රම් එක ප්ලේ කරලා පෙන්වනවා. ඊට පස්සේ ඒ සංගීත කණ්ඩායම මාව බඳවා ගන්නවා. ඒකේ පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පටන් ගන්නවා. එහෙම තමයි මේ චරිතය ගෙවෙන්නේ.
රංගන හැකියාව පාසලේ ඉඳන්ම තිබුණු දෙයක්ද?
මම පොඩි කාලේ සහ පාසල් කාලේ කළේ නර්තනයයි. සාමාන්‍ය පෙළින් පසුව තමයි පෙරදිග සහ බටහිර සංගීතය තෝරගත්තේ. අහම්බෙන් තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගියේ. රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම එහෙම හිතුවෙ නැහැ. ආසාවෙන් හිටියා. කොහොම හරි ඒ හීනය ලක්සිරි සර් හැබෑ කරලා දුන්නා.
ඩ්‍රම්ස් වාදනය ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම මුලින්ම තබ්ලා තමයි වාදනය කළේ. මගේ පාසලේ විශාකා විද්‍යාලයේ ඔකෙස්ට්‍රා එකේ හිටියා. ඊට පස්සේ ඩ්‍රම්ස් බීට් පුරුදු පුහුණු වෙලා තමයි ඉගෙන ගත්තේ.
ඩ්‍රම්ස් වාදනයට නැඹුරු වෙන්න හිතුවෙ ඇයි?
ගොඩක් ගැහැණු ළමයින් වයිලින්, කීබෝඩ් පැත්තට තමයි යොමු වෙන්නේ. මට වෙනස් වෙන්න හිතුනා. ඒක නිසා තමයි තාල වාදන පැත්තට මම යොමු වෙන්න හිතුවේ. ඒකයි මම ඒක තෝරගත්තේ සහ හැකියාව තියෙන්නේ ඒ පැත්තටයි.
මේ දේවල්වලට ලැබෙන සහයෝගය?
අම්මා, තාත්තා, අයියාගෙන් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඒ අය මට ගොඩක් උදව් කරනවා. රංගනයටත් එහෙමයි.
ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
ජීවිතේ මගේ ලොකුම බලාපොරොත්තුව තමයි සංගීත කථිකාචාර්යවරියක් වෙන්න. ඒ පැත්ත තමයි මගේ පළවෙනි දේ. හොඳ නිර්මාණ ලැබුණොත් දිගටම රංගනය කරගෙන යනවා. ගීත ගායනය කොහොමත් කරනවා. ඒ දේවල් තමයි බලාපොරොත්තු.
ලැබෙන රසික ආදරය ගැන කිව්වොත්?
ඩ්‍රීම් ස්ටාර් යන කාලෙට වැඩිය දැන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ වැඩිම පිරිසක් "සංගීතේ" ටෙලි නාට්‍යය නරඹනවා. ඒ නිසා කොහෙදි දැක්කත් "අමායා" නේද කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඇත්තටම ලොකු සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ.
ඉගෙනීමේ කටයුතු ගැන කිව්වොත්?
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබනවා. ප්‍රධාන දේ තමයි ඩ්‍රම්ස්, වෙස්ටර්න් වෝකල්, පියානෝ තමයි කරන්නේ.
ජීවිතේ සැලසුම් කරගෙන ගමන් කරන්න පුළුවන්ද?
සැලැසුම් කරගෙන කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ලැබෙන දේවල් වාසනාවට ලැබෙනවා කියලා හිතනවා. මෙච්චර කල් එහෙම තමයි වුණේ. මම හිතුවෙත් නැති දේවල් ලැබිලා තියෙනවා. සැලසුම් කරගෙන තමයි මගේ ජීවිතේ ඉන්නේ. වාසනාවට ලැබෙන දේවල් ගැන ඉස්සරහට බලමු.
ආදර යෝජනා දැන් ගොඩක් එනවා ඇති නේද?
ආදර යෝජනා නම් ගොඩක් එනවා. තාම ඒවා ගැන හිතන්නේ නැහැ. මොකද ඒ දේවල්වලට තව කල් තියෙනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha