‘ෂෙලීනා’ කතාවෙ ලස්සන ආදරයක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200902-21

පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ෂෙලීනා’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. එහි ‘ෂෙලීනා’ ගේ චරිතයට දායකව සිටින්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක වන අමන්දා සිල්වාය. නිරූපන ක්ෂේත්‍රයේ සිටින ජාත්‍යන්තර මට්ටමේ ශිල්පිනියක ලෙස ඇය හැඳින්විය හැකිය. මේ ‘ෂෙලීනා’ වූ අමන්දා සඳැල්ල කතාබහ හැඩ කළ අයුරුයි.

ENT-20200902-23

අමන්දාද? ඇමැන්ඩාද?

මට තියෙන්නේ හොඳ සිංහල නමක්. නිලුක්ෂි අමන්දා සිල්වා මගේ සම්පූර්ණ නම. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයේ දී බොහෝ දෙනා මාව ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තෙ ‘ඇමැන්ඩා’ කියලයි.

 

‘අමන්දා’ කලා ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

පොඩි කාලයේ ඉඳලම මම කළේ නැටුම්. වයස 18දී විතර සැලෝන් බ්ලොන්ඩ්ස් එකේ දර්ශී අක්කා තමයි මාව රොසෑන් ඩයස් මහත්මියට හඳුන්වලා දුන්නේ. එතැන් සිට නිරූපණ ගමනට මට ගුරු වුණේ රොසෑන් මහත්මිය නිසා ප්‍රවීණ නර්තනාංගවේදී බ්‍රයන් කර්කෝවන් හඳුනා ගන්න ලැබුණා. ඔහු නිසා ලංකාවේ අංක එකේ ෆැෂන් සංදර්ශනවලට දායකවීමේ අවස්ථා ලැබුණා. එහිදී ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී සහ නර්තනාංගවේදී සේනක ද සිල්වා මහතාගේ නාමයත් සඳහන් කරන්නම වෙනවා. ඔවුන්ගෙන් මම නිරූපණ ක්ෂේත්‍රයට ඉගෙන ගත්ත දේ බොහෝමයි. නිරූපණය එක්ක ක්ෂේත්‍රයට ආවේ 2009 දී. 2010 දී බ්‍රයන් කර්කෝවන් ප්‍රවිනයා සංවිධානය කළ විලාසිතා සංදර්ශනයකදී හොඳම නිරූපිකාව ලෙස සම්මානය දිනුවා. තවත් උප කිරුළු කිහිපයක්ම ලැබුවා. ඉන්පසුව හොඳම නිරූපිකාව වෙනුවෙන් 2010 දී ස්පාඤ්ඤයේ පැවැති ලෝක තරගය නියෝජනය කරමින් හොඳම 5 දෙනා අතරටත් හොඳම හැඩයෙන් යුතු සිරුර සඳහා වූ සම්මානයත් රටට දිනලා දෙන්න මට පුළුවන් වුණා. 2014 දී ශ්‍රී ලංකාව නියෝජනය කරලා මිස් ඒෂියා පැසිපික් තරගයට කොරියාවට ගියා. එහිදිත් හොඳම 15 දෙනා අතරට තේරුණා. පසුව මොඩල් ස්ටාර් සම්මාන උළෙලේ දී හොඳම නිරූපිකාවට හිමි සම්මානය දිනා දෙන්න පුළුවන් වුණා.

 

රඟපෑමට ආවේ?

කැළුම් පාලිත මහීරත්න මහතාගේ ‘විසුල අහසට’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සමගයි. ඉන්පසුව තවත් නිර්මාණ දෙකකට දායක වුණා.

 

එතකොට අද වෘත්තිය විලාසිතා නිරූපණය ද?

ප්‍රධානව කරන්නෙ මෝස්තර නිරූපණ ශිල්පයයි. මම විශේෂ වෙලා සිටින්නෙ නිරූපිකාවක ලෙසයි. මගේ උස සහ සිරුරේ හැඩය නිසා Ramp (නිරූපනය දක්වන භූමිය) මොඩල කෙනෙක් විදියට ප්‍රකට වෙලා ඉන්නෙ. Ramp මොඩල් කෙනෙක් විදිහට ජාත්‍යන්තරව සංදර්ශනවලට ඉදිරිපත් වෙලා තියෙනවා.

 

‘අපි’ ෂෙලීනා ගැන කියමුද? කොහොමද මේ චරිතය ලැබුණෙ?

මෙහි රඟපාන දිනෙත් ද සිල්වා අයියාගේ රඟපෑමට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නමගිය චරිතයක්. එයා එක්ක නිරූපණ සංදර්ශනවලට නිතර දායක වෙලා තියෙනවා. දිනෙත් අයියා තමයි මෙහි අධ්‍යක්ෂවරු දෙපෙළ වන පූජිත සහ චන්දන අයියලාට හඳුන්වලා දුන්නෙ. එයාලා මට තිරපිටපත කියවන්න දුන්නා. ඒක ලස්සන කතාවක්. මම ඒකට කැමති වුණා. ෂෙලීනා රහස් පරීක්ෂකවරියක් වගෙයි. මෙම කතාව කුතුහලය රැගත් තේමාවක් යටතේ ගලා යන්නෙ. ඒ එක්කම ලස්සන ආදරයත් ඒ කතාව ඇතුළෙ තියෙනවා.

 

’ෂෙලීනා’ දර්ශන තලයේ මතකයන් මොනව ද?

මෙහි නිර්මාතෘ කණ්ඩායම හරිම එකමුතු එක පවුලක අය වගෙයි. අපි ඉතාම සතුටින් ගත කළ කාලයක්. එක් දර්ශනයක් වෙනුවෙන් මගේ ඇඟට පිඹුරෙක් දාන්න තියෙනව කියලා අධ්‍යක්ෂවරු දෙපොළ මට කියලා තිබුණෙ. මේනිසා කොච්චර බය වෙලා ද හිටියෙ කිව්වොත්, දර්ශන තලයට යද්දී මාව ගැහෙන්න පටන් ගත්තා. හැබැයි අන්තිමට මගේ ඇඟට පිඹුරාව දැම්මෙ නැහැ. තවත් අවස්ථාවක ගඟක දර්ශනයක් තිබුණා. මම ගඟට බැහැලා සිටිය දී කිඹුලන් දුටුවා. බය වෙච්ච තරම කොච්චරද කිව්වොත් අන්තිමට මම ගඟට බැස්සෙත් නැහැ. පසුව ඒ දර්ශනය රූගත කළේ වෙනත් තැනෙක.

 

‘ෂෙලීනාට’ ලැබෙන ප්‍රතිචාර හොද ඳ?

හිතුවට වඩා ගොඩක්ම හොඳයි.

 

‘අමන්ද’ ගෙ ගෙදර ජීවිතය ගැනත් කියමු?

මගේ සැමියාගෙ නම දිමුතු පෙරේරා. එයා ව්‍යාපාරිකයෙක්. එයාගෙ පවුලේ ඔක්කෝමලා වගේම එයත් කුඩා කාලයේ ඉඳලාම ඉන්නේ ඇමරිකාවේ. අපි විවාහ වුණේ 2017දි. අද ඉක්මණින් මම එයා ළඟට යන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ.

 

එතකොට රඟපෑමට මොනවා වේවි ද?

මේ අංශ දෙකේම හොඳ වැඩ ලැබුණොත් දායක වෙනවා. සැමියාගෙන් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. ඒ නිසා රංගනය සහ නිරූපනය ක්ෂේත්‍රවල නියැලීම මට මානසිකව ලොකු සැහැල්ලුවක්. අද මම මේ විදියට යමක් කරනවා නම්, ඒ ගෞරවය මගේ සැමියාට ලැබිය යුතුයි. එයා එපා කියලා කියන්නෙ මගේ කොණ්ඩය කපන්න කියන එකට විතරයි.

 

කොහොමද විවාහ ජීවිතය?

හොඳ කෙනෙක් ලැබුණොත් ජීවිතය සුන්දරයි. එහෙම වුණොත් ජීවිතය දිව්‍ය ලෝකයක්. නැත්නම් අපායක්. මට ලැබුණේ සුන්දර සැමියෙක්.

 

ආදරය කියන්නෙ? ආදරය දැනෙන්නෙ කොහොම ද?

එකිනෙකා අතර වූ රැකවරණය, ආරක්ෂාව, ගෞරවය සහ අනෙකාට දෙන වටිනාකමයි. දෙදෙනා අතර ප්‍රශ්න තිබුණත් දෙන්නට දෙන්නා ඕනෑ නිසා ඒවා බැලන්ස් කරගෙන ජීවිතය ගෙන යන්න පුළුවන්.

 

අමන්දා ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?

ජීවිතේ මහා ලොකු ප්ලෑන් මට නැහැ. දෙවියන් සැලසුම් කළ විදියට තමයි අපට ජීවිතය ලැබිලා තියෙන්නේ. කරදර ප්‍රශ්න එනවා. ඒවාට මුහුණ දෙනවා. ඒත් ලොකු හීන මට නැහැ. පිටින් බලන අය හිතන්න පුළුවන් මම හරි ආඩම්බර චරිතයක් කියලා. ඒත් මම එහෙම නැහැ. වෘත්තියේදී මම හරිම වෘත්තියයි. හැබැයි වෘත්තිය මම ගෙදර අරන් එන්නෙ නැහැ. ගෙදර දී හරිම සාමාන්‍ය කෙනෙක්.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

 

 ENT-20200902-22